බසය මග නවතා රීලෝඞ් දැමූ කොන්දොස්තරට අපූරු පාඩමක්



තමන් සේවය කරන බසය නතර කරන ස්ථානවලදී බසයෙන් බැස ගොස් තම ජංගම දුරකථනයට රී-ලෝඞ් දමන්නට පුරුදුවී සිටි තරුණ කොන්දොස්තරවරයකුට එම බසයේ දිනපතා ගමන් කරන තරුණ පිරිසක් දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ඌව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

එය ඌව පළාතේ ප‍්‍රධාන අතුරු මාර්ගයක උදේ සවස ධාවනයවන පෞද්ගලික බසයකි. ප‍්‍රදේශයේ ජනතාවට සිය ගමන් බිමන් කරගෙන යාමට තිබූ එකම බසය මෙය බැවින් නගරයේ කාර්යාලවල සේවයට යන සේවක සේවිකාවෝ විශාල පිරිසක් මෙම බසයේ ගමන් ගත්හ.

බසයට ගොඩවන ඔවුන් කලට වේලාවට ගමනාන්තයට ළඟාවීමට අපේක්‍ෂා කළත් මගීන් නැංවීමට හා බැස්සවීමට බසය නතර කරන ඇතැම් ස්ථානවලදී බසයෙන් බැසයන එහි කොන්දොස්තරවරයා තම ජංගම දුරකතනයට රී ලෝඞ් දමන්නට කටයුතු කළේ මගීන්ගේ ප‍්‍රමාදය පවා සැලකිල්ලට නොගනිමිනි.
කෙසේ වෙතත් දින කීපයක් තිස්සේ කොන්දොස්තරවරයාගේ මෙම ක‍්‍රියා කලාපය පිළිබඳ විමසිල්ලෙන් සිටි බසයේ ගමන්ගත් තරුණ පිරිසක් කොන්දොස්තරවරයා සිය කාර්ය සඳහා බසයෙන් බැස යනු බලා සිට එක්වරම එහි සීනුව නාද කර ”හරි හරි යං” යැයි කිව්වේ කොන්දොස්තරවරයාගේ හඬ අනුකරණය කරමිනි.

නිසි සංඥාව ලැබීමෙන් වහා ක‍්‍රියාත්මක වූ බසයේ රියදුරාද බසය පණගන්වා වේගයෙන් ඉදිරියට එය ධාවනය කළේ බසය ඉක්මනින් ගමනාන්තය කරා රැගෙන යාමේ අටියෙනි.

කෙසේ වෙතත් බසය ටිකදුරක් ගමන් කරද්දී එහි කොන්දොස්තරවරයා නැති බව දැනගත් බස් රථ රියදුරා කොන්දොස්තරවරයාගේ දුරකතනයට ඇමැතුමක් දී කියා සිටියේ හැකි ඉක්මණින් ත‍්‍රීවීලරයක හෝ නැගී බස් රථය කරා පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් මගීන් තමන්ට දුන් දඬුවමින් පාඩමක් ඉගනගත් මෙම කොන්දොස්තරවරයා දැන් අතර මගින් බැස රී-ලෝඞ් නොදමන බව බසයේ යන මගීහු පවසති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment