රිතූ ‍පොලීසියට අහුවෙලා


මුලින්ම අපි රිතූගේ සාමාන්‍ය තොරතුරු කතා කරමු?
මගේ  ගම කැලණිය. මම ඉගෙන ගත්තේ ශාන්ත ජෝශප් බාලිකා විදුහ‍ලේ. මට අයියා කෙනකුයි, මල්ලි කෙනකුයි ඉන්නවා.

රිතූ රංගනයට ආවේ මෑත කාලයේදී
මම මුලින්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදහට කටයුතු කළා. ඒ අතරතුර තමයි හිරු තනිවෙලා නාට්‍යයේ ශලනිගේ චරිතයට ආරාධනා ලැබුණේ. ඒ මීට අවුරුදු තුනකට කලින්.
අද වෙද්දී රිතූට ටෙලි නාට්‍ය රැසකට ආරාධනා ලැබිල තියෙනවා නේද?
මේ දවස්වල “උතුම් පැතුම්”, “රිදී පහන්” ටෙලි නාට්‍යවල රඟපානවා. ඒවා සතියේ දවස් 5ම විකාශය වනවා. ඉරිදා විකාශය වන ‘මුතු’ නාට්‍යයෙත් රඟපානවා. මේ අවුරුදු තුනට ටෙලි නාට්‍ය රැසකටම දායක වුණා.
කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?
‘හිරු තනිවෙලා’ යන කාලෙදි ගොඩක් අය මට පාරෙ තොටේ මුණගැසුණොත් කථා කළේ ‘ශලනි’ කියලා. මේ දවස්වල හැමෝම මට කතා කරන්නේ ‘වරුණි’ කියලා.
‘උතුම් පැතුම්’ නාට්‍යයේ වරුණි ටිකක් නපුරු චරිතයක්?
ඒකම තමයි ඒ චරිතය සාර්ථක වෙන්න හේතුව. ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබෙද්දී ප්‍රධාන චරිතයද, අහිංසක චරිතයද, මෘදු චරිතයක්ද කියලා මම නම් බලන්නේ නැහැ. චරිතය තුළ රඟපාන්න යමක් තියෙනවා නම් ඇති.
නරක නපුරු චරිත රඟපාන කොට   ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලබන්න බැහැ...
ඒකනම් ඇත්ත. පාරෙ යද්දී මුණගැහෙන අය මට කතා කරනවා. ඒ කතා කරල දොස් කියනවා. ‘ඇයි ඔයා ඔච්චර නපුරු’ කියල අහනවා.
රිතූ දඟකාර, නපුරු චරිත කීපයක්ම කළා. සැබෑ ජීවිතෙත් ඒ වගේද?
ඕක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මම සාමාන්‍ය ජීවිතයේදී චුට්ටක්වත් නපුරු නැහැ. හැබැයි දඟලලා හිනාවෙලා හැමෝමත් එක්ක සුහදව ඉන්න නම් කැමතියි. මට කතා කරන අයත් කියන්නේ ටෙලි නාට්‍යයේ නම් ඔයා හරි නපුරුයි. ඇත්තටම එහෙම නෑනේ කියලා.
ළඟදී ‍පොලීසියට අහුවෙලා එතැනින් ගැලවිලා ගියෙත් ඔය සුහදශීලී බව හින්දලු නේද?
ඔය කියන්නේ මොරටුවේදී වුණ සිදුවීමද? කොල්ලුපිටියෙදී වුණ සිදුවීම ගැනද දන්නෑ?
ඒ කියන්නේ ඒ විදියේ සිදුවීම් ගොඩක් රිතූට තියෙනවා?
මම වාහනේ පදවාගෙන යද්දී කෝල්ස් එනවා. ඒවාට කතා කරමින් වාහනේ පදවද්දී ‍පොලීසියට අහුවෙනවා. ඒ වෙලාවට ඉතින් සුහදශීලීව කතාබහ කරල එතැනින් ගැලවිලා යනවා.
කොල්ලුපිටියේදියි මොරටුවේදියි අවස්ථා දෙකේම සිදුවුණේ ඔය සිදුවීමද?
ඔව්.
වාහනය පදවමින් ඇමතුමේ යෙදෙන්නේ ඒවා සුවිශේෂ කෙනෙක්ගෙන් ලැබෙන ඇමතුම් හින්ද වෙන්න ඇති?
නැහැ. නැහැ. සාමාන්‍ය ඇමතුම්. ඔය කියන විදියේ සුවිශේෂ කෙනෙක් දැනට මගේ ජීවිතයේ නැහැ.
දැනට නැහැ කියන්නේ අතීතයේ හිටියා කියන එකනේ?
අතීතයේ නම් එවැනි කෙනෙක් හිටියා. දැනට නම් එහෙම කෙනෙක් නැහැ.
දැනට ප්‍රේමාරාධනා ලැබෙන්නේ නැද්ද?
ප්‍රේමාරාධනා නම් ලැබෙනවා. ඒත් හිත ගිය කෙනෙක් ඒ අතර නැහැ.
කොයිවගෙ කෙනකුටද කැමති?
මම අඩි 5යි අඟල් 5ක් උසයි. මට වඩා උස, කඩවසම් පෙනුමක් තියෙන, කළු පාට කෙනකුට තමයි මම කැමති. මම සුදු කොල්ලන්ට නම් කැමති නැහැ.
හැබැයි ඉතින් රිතූ නළුවෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යන බව තමයි අපිට නම් ආරංචි?
(හිනැහි) බොරු ආරංචි පැතිරෙනවානේ. ඕකත් ඒ වගෙ ආරංචියක් වෙන්න ඇති.

ඡායාරූප: සිසිර හේමකුමාර
 ආරියවංශ කුලතිලක
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Such a shame... This actress thinks using the mobile phone while driving is a simple thing..and she tells that it's easy to escape from police

    ReplyDelete