
කොළඹ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය සේවය දශක කිහිපයකට පසුව යළි ඇරඹී ඇත. අතීතයේ කොළඹ සිට එකම දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් දකුණු ඉන්දියාවේ පම්බාන් දූපතේ පිහිටි ධනුෂ්කොඩි දුම්රියපළ
කරා යාමට හැකි වුවද 1964 ඇතිවූ සුළි සුළඟකින් ධනුෂ්කොඩි දුම්රියපළ ඇතුළු එම දූපතේ බොහෝ ස්ථාන වැනසුණි. ඉන්පසුව ඉන්දු ශ්‍රී ලංකා දුම්රිය සේවය රාමේෂ්වරම් අතර පැවැතියද පසුව එය මුළුමනින්ම නතර කොට දැමිණ.රාමේෂ්වරම් හි දක්නට ලැබෙන එකම ආගමික සිද්ධස්ථානය වන්නේ ‘කොත්නඩරාමාස්වාමි’ කෝවිලය. ශ්‍රී ලංකාව පාලනය කළ රාවණ රජු රාම අතින් පරාජය වීමෙන් අනතුරුව රාම කුමරු විසින් අප රටෙහි පාලකයා ලෙස විභීෂණ පත්කරනු ලැබිණි. විභීෂණ යනු රාවණා රජුගේ සොහොයුරකු ලෙස සැලකෙන අතර රාවණා හා රාම අතර පැවැති යුද්ධයේදී ඔහු සිය සොයුරු රාවණාට විරුද්ධ වී රාම කුමරුට සහය පළකරන්නට තීරණය කළේය.
රාම කෙතරම් ප්‍රබලයකු වුවද වසර දොළසක් තිස්සේ කළ යුද්ධය ජය ගත හැකි වූයේ විභීෂණ විසින් රාවණ රජුගේ දුර්වලකම් රාම හමුවේ හෙළිදරව් කිරීමෙන් පසුවය. මෙවැනි ආධාරයක් කළ විභීෂණ ශ්‍රී ලංකාවේ නව රජ ලෙස කිරුළු පළඳවන්නට රාම කුමරු පෙළඹීම මේ අනුව පුදුමයකට කරුණක් නොවේ. මෙම කිරුළු පැළඳවීම ‘පත්තාභිෂේකම්’ නම් වූ අතර එය සිදුකරන ලද්දේද මෙම කෝවිලෙහි බව පැවැසේ. එම සිදුවීම්වලට අදාළ සිතුවම් ද කෝවිලෙහි බිත්ති මත දක්නට ලැබේ. ඊට අමතරව විභීෂණ යනු රාමාගේ කෙතරම් සමීප හිතෛෂිවන්තයකු ද යත් රාමේෂ්වරම් හි පිහිටි ‘කොතන්ඩරාමාස්වාමි’ කෝවිලට ගොඩවැදීමෙන් දැකගත හැකිය. එහි රාම, සීතා, ලක්ෂ්මන, හනුමාන් හැරුණු විට විභීෂණ වෙනුවෙන් ද ප්‍රතිමාවක් ඉදිකොට තිබේ. 1964 දී සුළි සුළඟෙන් ගැලවුණු එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වන අතර මුහුදෙන් වට වූ මෙය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ. රාම කුමරු වානර සේනාව පාලම (රාමසේතු) ඔස්සේ ශ්‍රී ලංකාව කරා වූ ගමන ආරම්භ කළේ මෙම කෝවිල පවතින ස්ථානයේ සිට බැව් පැවැසේ.


ධනුෂ්කොඩි යනු පාළු, හොල්මන් නගරයක් ලෙස ප්‍රකටව ඇතත් එය වර්තමානයේ සුප්‍රකට සංචාරක ස්ථානයකි. නගරය මිය ගියද එහි තවමත් ජීවත්වන මිනිස්සු සිටිති. ස්ථානීය ලක්ෂණ නිසා එය ඡායාරූප ශිල්පීන්ගේ ද ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ.
එමෙන්ම සොබා සෞන්දර්ය සේම අද්භූත රසය විඳින්නවුන්ට ද ධනුෂ්කොඩි කදිම තෝතැන්නකි. තද සුළං කාලයට එහි වැලි මත නොයෙක් අද්භූත හැඩයන්ගෙන් යුතු රූප සටහන් මැවෙතැයි කියනු ලැබේ. ඇතැම් කාලයන්හිදී මිනිස් විලාපයන් බඳු අද්භූත හඬවල් ඇසෙන බවද ප්‍රකට රහසකි.
නුදුරු කාලයේදීම තලෙයිමන්නාරම ඔස්සේ ශ්‍රී ලංකා ඉන්දු දුම්රිය සේවය ඇරඹුණහොත් තලෙයිමන්නාරම ඔස්සේ දුම්රියෙන් ගොස් එතැන් සිට මගී නෞකාවක් මගින් ඔබට රාමේෂ්වරම් දක්වා යා හැක.
දැනට ධනුෂ්කොඩි කරා අප රටෙහි සිට ගමන් ගන්නේ නම් තෝරාගත යුත්තේ මදුරෙයි ගුවන් තොටුපළයි. ශ්‍රී ලංකාවේ සිට මදුරෙයි බලා ගමන් කිරීම සඳහා අඩු වියදම් ගාස්තු පිළිබඳ සොයා බලා එවැන්නක් තෝරාගත හැකිය. කටුනායක සිට මදුරෙයි දක්වා එක් ගමන් වාරයක් සඳහා මිහින් ලංකා සේවය රු. 10,900ක් පමණ අයකරද්දී ස්පයිස් ජෙට් හි ගාස්තුව වන්නේ 8,600ක් වැනි මුදලකි. අප රටෙහි සිට මදුරෙයි දක්වා ගුවනින් ගමන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගතවේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක
0 comments:
Post a Comment