ටොකු නොකා ගැලවුණු සිකුරිටි නිලධාරියා


ආරක්ෂක නිලධාරියා සිය රාජකාරියේ යෙදී සිටියදී කාර්යාලයකට පැමිණියේ තලතුනා මහත්මයෙකි. කාර්යාලයට එන අයගෙන් පැමිණි කාරිය විමසන ලෙසට ආරක්ෂක
නිලධාරියාට ඉහළින් ලැබී තිබූ උපදෙස් අනුව ”ගුඞ් මෝනින් සර්” කියමින් හෙතෙම අමුත්තාට ආචාර කළේය. කිසිවක් නොදෙඩූ අමුත්තා ඉදිරියට යන්නට විය.

”එක්ස්කියුස් මී, සර් කොහාටද යන්නේ”? ආරක්ෂක නිලධාරියා විමසුවේ ගරුසරු ඇතිවය. ”තමුසේ කව්ද ඒ ගැන අහන්න. මම යන්න  ඕන තැන දන්නවා.” හෙතෙම කෝපයෙන් පැවැසීය. ”එහෙම කියන්න එපා සර්, මේක මගේ රාජකාරියනේ.” ආරක්ෂක නිලධාරියා විනීතව පැවැසීය. ”තමුසේ සෙකියුරිටි නේද. තමුසෙටයි මටයි කතාවක් නැහැ.” පැවැසූ අමුත්තා කාර්යාලයට ඇතුළු විය. ආරක්ෂක නිලධාරියා ඉන්පසු දිව ගියේ අමුත්තා පැමිණි රථයේ රියැදුරා හමුවීමටය. ”දැන් ගිය සර් එක්කද ඔයා ආවේ?” ඔහු විමසීය. ”ඔව් ඇයි ප‍්‍රශ්නයක් වුණාද?” රියැදුරා ඇසීය. ”එයා හරි සවුත්තු මහත්තයෙක්. මම ඔච්චර හොඳට කතා කරලත් මට බැන්නා. අපි නිල ඇඳුම ඇඳලා එක එකාගෙන් බැනුම් අහනවා. මට මේ ජොබ් එක තිත්ත වෙලා තියෙන්නේ.” ඔහු පැවැසීය. එවිට රියැදුරා, ”අයියා  ඕවා ගණන් ගන්න එපා. ඔය මනුස්සයාට කොළඹ ගෙවල් දෙකක් තියනවා. ළමයි රට ඉන්නේ. මුල් කසාදේ කටුගාලා දැන් ඉන්නේ වෙන කෙනෙක් එක්කයි. මම වාහනේ එළවද්දී, වාහනේ වමට දකුණට හරවන්න කියලා කියන්නේ ටොක්කක් ඇනලයි. දැන් මට ඒක පුරුදුවෙලා.” රියැදුරා පැවැසීය. ඊළඟ මොහොතේ අමුත්තා රථයට ගොඩවී රියැදුරාට ටොක්කක් අනිනු දුටු ආරක්ෂක නිලධාරියා දිගු සුසුමක් පිට කළේය. මෙය අගනුවරදී සිදුවූවකි.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment