තලිබාන් නායකයා සැතපුම් දහස් ගණනක් දුර සිට ඝාතනය කළේ මෙහෙමයි

6
තලිබාන් නායක මුල්ලා අක්තාර් මන්සූර් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුගිය සෙනසුරාදා ඝාතනය කෙරුණු බැව් ඇෆ්ඝනිස්ථාන ඔත්තු සේවා ඒජන්සිය පසුගියදා වාර්තා කළේය. මුල්ලා මන්සූර්ට එරෙහි ඩ්‍රෝන ප්‍රහාරය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය
සෙනසුරාදා උදෑසන 6.00ට පමණ නැගෙනහිර පකිස්තානයේ ඇෆ්ඝනිස්ථාන දේශ සීමාව අසල පිහිටි දාහිබන්දින් ප්‍රදේශයේදීය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තලිබාන් නායකයා සහ ඔහුගේ රියැදුරා මෙම ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ. මුල්ලා මන්සූර් ඇමෙරිකාවට බලවත් තර්ජනයක් බවට පත්ව සිටි පුද්ගලයකු ලෙසින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හඳුන්වා තිබේ. “එක්සත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඇෆ්ඝනිස්ථානයක් බිහි කිරීමට සහය දක්වන බැව් ලෝකයට ඒත්තු ගැන්වීමට මෙම ප්‍රහාරයෙන් අපි පණිවිඩයක් ලබා දෙනවා. අපට අවශ්‍ය සාමයයි. මන්සූර් ලෝක සාමයට විශාල තර්ජනයක්” යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා තිබිණි.
 මෙම ප්‍රහාරය සඳහා ජනාධිපති බැරක් ඔබාමා  අනුමැතිය ලබා දී තිබිණි. පසුගිය සතියේ වියට්නාමයේ සංචාරයකට එක් වූ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා “ඇෆ්ඝනිස්ථාන සාමය සහ සමෘද්ධිය උදෙසා ඇමෙරිකාව දරන ප්‍රයත්නයේ එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් මෙම ප්‍රහාරය හැඳින්විය හැකියැ”යි ප්‍රකාශ කොට තිබේ.
88
මුල්ලා අක්තාර් මන්සූර් 2015 ජුලි මාසයේ තලිබාන් සංවිධානයේ නායකත්වයට පත්වූයේ එහි නිර්මාතෘ මුල්ලා මොහොමඞ් ඔමාර්ගේ මරණින් පසුය. 2001 වැනි කාලයේ මුල්ලා ඔමාර් පිටුවහලකු ලෙස පකිස්තානයේ ගත කළ සමයේ නායකත්වය පිළිබඳ වගකීම දරනු ලැබුවේ මුල්ලා මන්සූර්ය. සියලු බලතල ඔහු වටා කේන්ද්‍ර ගත වූයේ එසමයේය. කන්දහාර් ප්‍රදේශයේ 1960දී උපත ලද ඔහු තලිබාන් සහ ක්වෙටා ෂුරා නමැති ඉස්ලාමික උගතුන්ගේ කවුන්සිලයේ නායකයා විය. පකිස්තානයේ බාලුචිස්ථාන් පළාතේ මෙහෙයුම් සංවිධානය කළ නායකයෝ විශාල පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ.  තලිබාන්  පාලනය පැවැති සමයේ සිවිල් ගුවන්සේවා ඇමතිවරයා වූ මන්සූර් එම පාලනය බිඳ වැටුණු පසු එහි සැඟවුණු නායකයා ලෙසින් කටයුතු කළේය. තම සංවිධානය ප්‍රතිසංවිධානය කළ ඔහු ඇෆ්ඝන් හමුදාවට මහත් හිසරදයක් වෙමින් දැවැන්ත ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට පියවර ගත්තේය. පසුගිය වසරේදී ඇෆ්ඝනිස්ථාන හමුදා පාලනයේ තිබූ විශාල නගරයක් වසර 15කට පසු යළි අත්පත් කර ගැනීමට ඔහුට හැකි විය. මුල්ලා මුහමඞ් රසුල්ගේ පාලනය යටතේ පැවැති අතුරු තලිබාන් කණ්ඩායම නිහඬ කරන්නට මුල්ලා මන්සූර්ට හැකි විය.  ඔහුගේ අනුගාමිකයෝ තලිබාන් පාලනය පැවැති ප්‍රදේශයන්හි ඉස්ලාමික් ස්ටේට් නොහොත් අයිඑස්අයිඑස් පාලනයක් ස්ථාපිත කළහ. ඉන් නොනැවතුණු ඔහු සිරාජුදීන් හක්කානි ත්‍රස්ත ජාලය සහ අල් කයිඩා සංවිධානය සමඟද සහයෝගයෙන් කටයුතු කළේය. මුල්ලා මන්සූර් කාබුල් ඇතුළු ඇෆ්ඝනිස්ථානයේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර රැසක් සැලසුම් කරමින් සිටි බවට අනාවරණ වූයේය. විශේෂයෙන් ඇෆ්ඝනිස්ථානු සිවිල් ජනතාවට හා ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කිරීම ඔහුගේ අරමුණ විය. මන්සූර් නායකත්වයට පත්වීමෙන් පසු ඇෆ්ඝනිස්ථානු සිවිල් ජනතාව, ආරක්ෂක අංශ සහ එක්සත් ජනපද සන්ධාන කණ්ඩායම්වල දස දහස් ගණනින් ඝාතනය කළේය. උතුරුදිග ඇෆ්ඝනිස්තානය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක නිර්මාතෘවරයා වූයේ ඔහුය. 

මුල්ලා මන්සූර් ඇමෙරිකානු එක්සත් ජනපද හමුදාවට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අබිරහසක්ව පැවැති පුද්ගලයෙක් විය. මන්සූර් ඝාතනය තලිබාන් සංවිධානයට සිදු වූ  දැවැන්ත හානියක් ලෙසින් සැලකේ. එයින් තලිබාන් නායකත්ව අරගලය යළිත් වරක් හිස ඔසවා තිබේ. තලෙයිබාන් නායකයෝ ඊළඟ නායකත්වය සඳහා සුදුස්සකු තෝරා ගැනීමට පසුගිය ඉරිදා සාකච්ඡාවක් පැවැත්වූ අතර මවුලවි හිබතුල්ලාහ් අබුන්ඩිසාඩා නව නායකත්වයට තෝරාගෙන තිබේ.
68
මෙම ප්‍රහාර පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බවත්  ඩ්‍රෝන ප්‍රහාරය තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් ලෙසත් පකිස්තානු බලධාරීන් සඳහන් කරයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අතීතයේදී ද ඇමෙරිකා එක්සත් ජනපදය හා පාකිස්ථානය අතර ගැටලු පැන නැඟුණි. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් අවස්ථා ගණනාවකදී සාමාන්‍ය වැසියෝ විශාල පිරිසක් මරණයට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 නොවැම්බරයේදී  ඩ්‍රෝන ප්‍රහාර නවතා දැමුවද 2012 ජනවාරියේ එය යළි ආරම්භ වූයේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, පකිස්තානය, ඇෆ්ඝනිස්ථානය හා චීනය අතර සංහිඳියා ක්‍රියාමාර්ගයක් පැවැති අතර ඒ අනුව තලිබාන් සාමාජිකයන් ඉලක්ක කර නොගන්නා බවට ඔවුන් එකඟතාවකට පැමිණ සිටි බැව් අනාවරණ විය. පසුගිය සතියේ මෙම රටවල් අතර පැවැති හමුවකදී දේශපාලන විසඳුමක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද එවැනි අවස්ථාවක මුල්ලා මන්සූර් ඉලක්ක කොට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරුණේ  මන්දැයි යන්න පිළිබඳ තමන්ට පැහැදිලි අවබෝධයක් නොමැති බවද පකිස්තාන බලධාරීහු ප්‍රකාශ කළහ. පකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා හා බුද්ධි අංශ අතර මනා සහයෝගිතාවක් පවතින අතර ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ජනරාල් ජෝන් නිකල්සන් පකිස්තාන හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ්ද, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ්ද අමතා මෙම සිදුවීමෙන් එම සහයෝගීතාවය බිඳ වැටේදැයි විමසූ විට එවැන්නක් සිදු නොවන බවට ඔවුන් ප්‍රකාශ කොට තිබිණි.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් හමුදාව මගින් මෙහෙයවනු ලැබ තිබිණි. මුල්ලා මන්සූර් ඉලක්ක කරගත් ප්‍රහාරයට පෙර ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම සේනාංකයේ ප්‍රධානී ජනරාල් ජෝසෆ් වොටෙල් උතුරු සිරියාවේ රහසිගත සංචාරයක නිරත වූයේය. එම සංචාරයේ අරමුණ  ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් හමුදාව සහ අයිඑස් ත්‍රස්තයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකාවේ පුහුණුව ලද සිරියානු සටන්කාමීන් හමුවීමය. ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක අයිඑස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව ඔබාමා පාලනය විසින් ගෙන යනු ලබන ක්‍රියාදාමයේ එක් පියවරක් ලෙස මුල්ලා මන්සූර්ට එරෙහි ප්‍රහාරය සැලකිය හැකිය.

28_SLT_P_4


ත්‍රස්තවාදීන් පාලනය කිරීම, ඔවුන් සිටින ඉලක්ක හඳුනා ගැනීමට හා ඔවුන් විනාශ කිරීම ඩ්‍රෝන ප්‍රහාර මගින් සිදු කෙරේ. ඩ්‍රෝන යනු මිනිසුන් රහිත කුඩා ගුවන් යානා විශේෂයකි.  දුරස්ථ පාලකයක මගින් හෝ යානයේ ඇති පරිගණක පද්ධතියේ ආධාරයෙන් මෙම යානා පාලනය කෙරේ. ඩ්‍රෝන ව්‍යාපෘතිය මුලින්ම ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ් පාලන සමයේදීය. ඔහුගේ පාලන කාලයේ අවසන් සමයේ ඩ්‍රෝන මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු කෙරිණි.  ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම බුද්ධි අංශ ඒජන්සියේ විශේෂ මෙහෙයුම් අංශය මගින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්තානයේ සිදු කෙරෙන ඩ්‍රෝන ප්‍රහාර සඳහා යානා වර්ග දෙකක් යොදා ගැනේ. එම් කියු 1බී වර්ගය සහ එම් කියු 9 රීපර් එම යානා දෙවර්ගයයි. ඉතා සියුම් සංවේදකයන්ගෙන් සමන්විත මෙම යානාවල කළු සුදු සහ වර්ණ රූපවාහිනී කැමරා, රූප තීව්‍රකරණ උපකරණ, අඩු ආලෝක තත්ත්වයන්හි පැහැදිලි රූප ලබාගත හැකි අධෝරක්ත කිරණ ප්‍රතිබිම්භ දර්ශක ඇතුළත් වන අතර ලේසර් කිරණ මගින් ඉලක්කය හඳුනාගෙන එහි  ඇති මිසයිල අවශ්‍ය ඉලක්කය කරා යොමු කළ හැකිය. මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින මනා පුහුණුවක් ලත් නිලධාරීන් විසින් යානය මගින් ලබා දෙන ඡායාරූප විශ්ලේෂණය කොට අවශ්‍ය ඉලක්කය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමට යානයට උපදෙස් දෙනු ලබයි. මෙම මෙහෙයුම් මධ්‍යස්ථාන ඇත්තේ සටන් බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතය. ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්තානයේ සිදු කෙරෙන ඩ්‍රෝන ප්‍රහාර මෙහෙයවනු ලබන්නේ නෙවාඩාහී ක්‍රීච් ගුවන් හමුදා කඳවුරේ සිටය. ඩ්‍රෝන යානා මුලින් සැලසුම් කෙරුණේ බුද්ධි අංශ සඳහා තොරතුරු රැස් කිරීම, ආරක්ෂක කටයුතු, ඉලක්ක හඳුනා ගැනීම සහ නැවත සොයා බැලීම වැනි කාර්යයන් සඳහාය. ප්‍රථමයෙන් නිර්මාණය වූයේ එම් කියු 1 බී වර්ගයේ යානාය. 2002දී එය හෙල්ෆයර් මිසයිල දෙකකින් සන්නද්ධ කෙරිණි. එම මිසයිලය කිලෝමීටර 8ක් දුරින් පිහිටි ඉලක්කයක් වෙත යැවීමට යානය සමත්ය. පසු කාලයේ එම් කියු 9 යානය නිර්මාණය කෙරුණු අතර එය“දඩයක්කාරයා සහ මාරයා” යනුවෙන් හැඳින්වෙයි.  හෙල්ෆයර් මිසයිල හතරකින් හා ලේසර් මගින් ඉලක්කයගත හැකි ‘පේව් වේ 2’ සහ ‘ජීබීයූ 12’ යන බෝම්බවලින් එය සමන්විතය. යානයේ වේගය පැයට කිලෝමීටර 370කි. අඩු උන්නතාංශකයකදී  ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම යානා ප්‍රයෝජනවත් වේ. තලිබාන්වරුන්ගේ අවි ගබඩා විනාශ කිරීම සඳහා මෙම යනාවලින් ලැබෙන සහය විශාලය.

ඔබාමා පාලනය ආරම්භ වීමෙන් පසු ත්‍රස්ත සංවිධාන විනාශ කිරීම සඳහා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම වේගවත් විය. ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්තානයේ ඩ්‍රෝන මෙහෙයුම් දෙගුණයකින් වර්ධනය කෙරුණි. “ඩ්‍රෝන වර්ෂය” නමින් හැඳින්වුණු වාර්තාවකට අනුව 2004 සිට 2010 දක්වා ඩ්‍රෝන මෙහෙයුම් 114ක් ක්‍රියාත්මක වී ඇති අතර පුද්ගලයන් 834ත් 1216ත් අතර ප්‍රමාණයක් මරණයට පත්ව තිබේ. මිය ගිය සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් ත්‍රස්තවාදීන් වන අතර ඉතිරිය සිවිල් වැසියන්ය. ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තාවකට අනුව පකිස්තාන තලිබාන්වරුන් ඉලක්ක කරගත් මෙහෙයුම් සඳහා පකිස්තාන රජයේද සහ බුද්ධි අංශයේ  සහය ලැබී තිබිණි. ඉස්ලාමික ත්‍රස්තවාදය විනාශ කිරීමේ ඇමෙරිකානු ක්‍රියාදාමයට අනෙකුත් ඉස්ලාමික රාජ්‍යයන්ගේද සහය ලැබෙමින් පවතී. ඩ්‍රෝන මෙහෙයුම් සිදු කළ යුතුද? නැතිද? යන්න සම්බන්ධයෙන් 2012 වසරේ පැවැත්වූ මත විමසුමකදී ඇමෙරිකානුවන් 83%ක් එයට කැමැත්ත පළ කරමින් ඡන්දය ප්‍රකාශ කොට තිබිණි. ඩ්‍රෝන ප්‍රහාර නීත්‍යනුකූල, සදාචාරසම්පන්න සහ නුවණැති ක්‍රියාවක් ලෙස ඔබාමා පාලනය හඳුන්වා තිබේ.
m
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment