පෙම්වතාට අරන් දුන්න ණය ගෙවන්න ගණිකා මඩමකට ගිය සදලි

23_PAGE_19_T
ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් සම්පත් මහතාට කිසිවෙක් පණිවුඩයක් ලබා දුන්නේය. සම්පත් මහතා ඒ බව තම ප්‍රධානියාට දන්වා සිටි අතර
ප්‍රධානියාගෙන් ලැබුණ උපදෙස් පරිදි එම තොරතුර සත්‍ය බවට දින දෙකකදී සහතික කර ගත්තේය. පසුව ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් ගාල්ල මකුළුදූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අලෙවි කරන මධ්‍යස්ථානයක් වැටලූහ. එක් කාන්තාවක් සමග ආයතනය පවත්වාගෙන යන බවට සැකකරන පුද්ගලයෙක් අත්අඩංගුවට පත්විය.

මෙවැනි වැටලීම් මේ නිලධාරී කණ්ඩායම කොතෙකුත් සිදුකරන්නට ඇත. එසේම රටේම පොලිස් ස්ථාන මෙවැනි ස්ථාන නිරන්තරයෙන් වටලනවා ඇත. එවැනි තැන්වලදී අත්අඩංගුවට පත්වන කාන්තාවන්ගේ කතා විමසා බැලුවහොත් එහි දුක්මුසු බවක් තිබෙනු ඇත. කෙනෙක් තමන්ගේ චරිතය කෙළෙසා ගන්නට කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ නැත. එසේ කරන්නේ නම් තමන්ගේ චරිතය රැකගන්නවාට වඩා ඉටු කළ යුතු බරපතළ වගකීමක්, යුතුකමක් ඔවුන්ට තිබෙනවා වන්නට පුළුවන. මේ ගාල්ල මකුළුදූව ප්‍රදේශයේ සිදුකළ වැටලීමෙන් අත්අඩංගුවට පත් කාන්තාව කියූ කතාවද මනුස්සකම් හඳුනන, මානුෂීය බැඳීම් හඳුනන ඕනෑම කෙනෙකුගේ හද කම්පා කරවන සුලුය. 

අපි ඇයට සඳලි යැයි කියමු. විවිධ දුෂ්කරතාවන්ට, දුක් කම්කටොලුවලට මුහුණ දී තිබුණද සඳලි තවමත් සඳලියක් මෙන් සුන්දරය. ඇගේ කතාව ආරම්භ වන්නේ සිව් හැවිරිදි වියේදී සිය ආදරණීය මව මියයාමත් සමගය. 

මව මියයාමත් සමග ඇය පුංචි අම්මාගේ සෙවණට පත්වූවාය. අවුරුදු දහසයේදී පමණ පියාද මිය ගියේය. ඉන්පසු පාසල් අධ්‍යාපනයද ඇයට අහිමි විය. ඇයට වියදම් කිරීම අපහසු බව කියූ පුංචි අම්මා ඇගේ පාසල් ගමන නතර කළා පමණක් නොව ගෙදරට අවශ්‍ය මුදල් සොයා දෙන ලෙසට ඇයට බලකර සිටියාය. මුදල් සොයාගෙන පැමිණි පසු ඒ සියල්ල පුංචි අම්මා උදුරාගත් අතර ඇයට සැලකුවේ සිරකාරියකට මෙනි. මේ අපායෙන් ගැලවෙන්න පුංචි අම්මාට එකවර ලොකු මුදලක් සොයා දිය හැකි මගක් සොයමින් සිටි සඳලිට සම්භාහන මධ්‍යස්ථානයකට තරුණියන් බඳවා ගන්නා බවට වූ පුවත්පතක දැන්වීමක් කියවන්නට ලැබිණ. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහඅටක් පමණ විය. දෙවරක් නොසිතූ සඳලි ඒ රැකියාව සඳහා මහනුවර බලා පිටත් වූවාය. ඇයට රැකියාව ලැබිණ. සඳලි අවුරුදු දහයක් පහළොවක් පමණ රැකියාව කළේ මේ සම්භාහන මධ්‍යස්ථානයේය. පුංචි අම්මාට මුදල් යවන ඇය තවදුරටත් පුංචි අම්මාගේ ගෙදර නොගියාය. ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම තහනම් වූ නිසා ඇය වසර දහයක් පමණ සම්භාහන මධ්‍යස්ථානය වෙනුවෙන්ම බැඳීගෙන සේවය කළාය. වරින් වර විවිධ පුද්ගලයන් ඇයට ආදරය ප්‍රකාශ කළත් ඒ සම්බන්ධතා එතරම් දුරදිග ගියේ නැත. ඒ සම්භාහන මධ්‍යස්ථානයේ ප්‍රධානීන් එයට බාධා කළ බැවිනි. 

එහෙත් සඳලිටත් ආදරයක් අවශ්‍යය. මවගේ මරණයෙන් පසු ඇය ආදරයක් විඳ තිබුණේ නැත. සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් සමග සඳලි ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේ ආයතනයටද හොරාය. ඔහු සඳලිට වඩා තරමක් වයසින් වැඩිය. එහෙත් සඳලිට ඒ ආදරය තදින්ම දැනෙන්නට විය. ඇය ඉතා කෙටි කලක් තුළ නිවසක් කුලියට ගෙන වෙනම ජීවත් වන්නට පටන් ගත්තාය. එහෙත් සඳලිගේ පෙම්වතා ඇයව විවාහ කරගත්තේ නැත. විවාහ කර නොගත්තද ඔහුගෙන් සඳලිට දරුවෙක්ද ලැබෙන්නට යන බවට ලකුණු පහළ විය. සඳලිගේ පෙම්වතා ඊට කැමති වූයේ නැත. එහෙත් සඳලි බොහොම අමාරුවෙන් දරුවා හදාගන්නට ඔහු කැමති කරවා ගත්තාය. 

ගැබිනියක වූ සඳලිගෙන් තවදුරටත් සම්භාහන මධ්‍යස්ථානයට වැඩක් නැත. ඒ නිසා ඇයව ඉන් ඉවත් කරන්නට ආයතනය උත්සාහ කළේය. එහෙත් හඬා දොඩා දුක කිව් පසු දීර්ඝ කාලයක් තම ආයතනයේ සේවය කළ කාන්තාවක වන නිසාම සඳලිට තවදුරටත් සේවය කරන්ට ඉඩක් ලැබිණ. එහෙත් දරුගැබ මෝරා කුස නෙරා එන්නට වූ විට තවදුරටත් සම්භාහන මධ්‍යස්ථානයට ඇයගෙන් සේවය ලබාගැනීමට නොහැකිය. ඒ නිසා ඇයට සේවයෙන් ඉවත් වන්නට සිදු විය. ඉන්පසු මුහුණ දෙන්නට සිදු වන ආර්ථික දුෂ්කරතාව ගැන පෙන්වා දුන් සඳලිගේ පෙම්වතා විදේශ රැකියාවකට යාමට සුදානම් විය. තමන්ගේ රැකවරණයට සිටි එකම පුද්ගලයා තමන්ගේ පෙම්වතා දරුවෙක් ලැබෙන්න ඉන්න තමන්ව මෙරට තනිකර විදෙස් ගතවනවාට සඳලි කිසිසේත්ම කැමති වුයේ නැත. එහෙත් ආර්ථික ප්‍රශ්න මතුවෙද්දී ඇතිවුණ ගැටුම් නිසාම ඇය ඊට කැමැත්ත ලබා දුන්නාය. එහෙත් ඒ සඳහා මුදල් සොයා දෙන්නටද සිදුවූයේ සඳලිටමය. ඇය තමන් කුලියට ගත් නිවසේ හිමිකාරියගෙන් පිහිටක් පැතුවාය. ඇය පොලියට මුදල් සොයා දුන්නේය. ඒ මුදල එක්ලක්ෂ අසූදහසකි. 
සඳලිගේ පෙම්වතා විදෙස් ගත විය. එහෙත් ඔහු කොහේ ගියාද මොනවා කරනවාද කියා සඳලිට ඔහුගෙන් ඇමතුමක් හෝ කිසිම පණිවුඩයක් හෝ තොරතුරක් ලැබුණේ නැත. ඉන් දෙමසකට පසු සඳලි ඇය වගේම සුන්දර දියණියක් බිහි කළාය. දියණියත් සමග ජීවත් වෙන්න ඇයට කිසිම මුදලක් නැත. ඒ නිසා දිනකට රුපියල් පන්සීයක් දෙන පොරොන්දුව මත දියණිය බලා ගැනීමට කාන්තාවක් සොයාගත් සඳලි යළි සම්භාහන මධ්‍යස්ථානයේ රැකියාවට ගියාය. 

ටික කලකින් ඇයට ණයට ගත් මුදල් ඉල්ලා බලපෑම් එන්නට විය. අවම වශයෙන් පොලියවත් ගෙවන ලෙස මුදල් ණයට දුන් අය ඉල්ලා සිටි.  මේ ණය වාරිකයයි, දියණිය බලාගන්නා කාන්තාවට ගෙවන්නයි, ගෙවල්කුලී ගෙවන්නයි සඳලිට දැන් උපයන මුදල ප්‍රමාණවත් නැත. ණය වාරිකය පමණක් රුපියල් විසිදෙදාස් පන්සීයකි. දියණිය බලාගැනීම අර කාන්තාවටම භාර කළ ඇය සම්භාහන මධ්‍යස්ථානයේදී හඳුනාගත් තරුණියකගෙන් ලද තොරතුරු අනුව ගාල්ලට පැමිණියේ අවශ්‍යතාවය පරිදි වැඩිපුර මුදලක් සොයන්නය. ඒ සඳහා ඇයට මුදලට සිය ඇගමස් විකිණීමේ ලොව පැරණිම වෘත්තියේ යෙදෙන්නට සිදුවිය. 

මෙම වැටලීම සිදුකළේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 58835 සම්පත්, පොලිස් කොස්තාපල්වරුන් වන 10529 ප්‍රියන්ත, 73009 අරුණ යන නිලධාරීහු මේ සඳහා සහභාගී වූහ.

මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ මේ මෙහෙයුමේ නියමුවා පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා මෙසේ පැවසීය.

මෙවැනි වැටලීම් අපි ඕනෑතරම් කරනවා. ඒත් මේ කතාවේ අපට සමාජයට කියන්න විශේෂ පණිවුඩයක් තියෙනවා කියලා හිතනවා. ඕනෑම දරුවෙක් තමන්ට අවශ්‍ය ආදරය, නිසි අවස්ථාවේ සිදුකරන මාපියන්ගේ හෝ වැඩිහිටියන්ගේ හෝ නිසි සොයා බැලීම නැති වුණාම ඔවුන් වැරදි පාරේ ගමන් කිරීම වළක්වන්න බෑ. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක් ගැන දෙමාපියන්ගේ අවධානය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මේ සැකකාරියටත් පුංචි කාලේ ඉඳලාම කිසිම කෙනෙකුගේ ආදරය රැකවරණය ලැබිලා තිබුණේ නෑ විතරක් නෙවෙයි ඇගේ පුංචි අම්මා ඇගෙන් මුදල්ම ඉල්ලා සිටියා. ඒ නිසා ඇය මුදල් ඉපයීමට පහසු මගක් සොයා ගත්තා. ආදරය සොයා ගත්තා. ඒත් ඇය ආදරය කරන කෙනා වංචා කාරයෙක්ද, සල්ලාලයෙක්ද ඔහු මීට පෙර විවාහ වුණ අයෙක්ද මේ කිසිම දෙයක් සොයා බලන්න කෙනෙක් හිටියේ නෑ. හිතට දැනුණ ආදරය වෙනුවෙන් ඇය මුළු ජීවිතේම කැප කළා. මේ සිදුවීම මාපියන්ට තමන්ගේ දරුවන් ගැන සොයා බැලීමට බලකරනවා. ඒ වගේම තරුණ තරුණියන්ට තමන් ආදරය කරන පෙම්වතා, පෙම්වතිය පිළිබඳව මීට වඩා සොයා බලන්න බලකරනවා. එහෙම නොවුණොත් තමන් අමාරුවේ වැටෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බැරි වෙයි. පොලිස් කූඩුවේ නැඟලා පුනරුත්ථාපන කඳවුරකට ගිහින් මේ හරි පාරට වැටෙනවාට වඩා මුල සිටම දරුවන් හරි පාරට දාගන්න මාපියන් වගේම දරුවනුත් කල්පනාවෙන් වැඩ කළ යුතුයි.

විජේසිංහ මහතා දැක්වු අදහස සමග කිසිවෙකුටත් විවාදයක් තිබෙන්නට නොහැකිය. ජීවිතයේ ආදරය කියා විඳගත්ත එකම ආදරය තමන්ගේ ජීවිතය මෙලෙස අපායකට ගෙන යාවි කියා සඳලි කවරදාවත් සිතන්නට නැත. මාපිය රැකවරණයක් නොමැතිව, සොයා බැලීමට කෙනෙක් නොමැතිව ඉබාගාතේ ගිය ජීවිතයක් අවසානයේ නැවතුණේ පොලිස් කුඩුවේය. ඇය මුදා හරින්නට ද ඇත. එහෙත් ඇය වැනි කාන්තාවක් සමාජයේ නිසි මගට ගැනීමට වැඩපිළිවෙළක් නොවුණහොත් යළිත් සුපුරුදු වෘත්තියේම නියැලෙනවා හැර අන්යමක් සිදුනොවනු ඇත. ඒ නිසා ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට එහා වගකීමක්, යුතුකමක් පොලිසියටද ඉෂ්ට කිරීමට තිබේ.

එසේම අද මාපියන්ට මුදල් උපයන්න කාලය වෙන් කරන්න සිදුවීම නිසා දරුවන් ගැන බලන්න තිබෙන්නේ බොහොම කෙටි කාලයකි. නමුත් ජීවිතේ මුදල් වලින්ම පමණක් සැපිරිය නොහැකිය. ඒ නිසා ඔබේ දියණිය, පුතණුවන් සිදුකරන්නේ කුමක්ද? ඔවුන් යන්නේ කොහේද? සොයාබැලීමටද කාලයක් වෙන් නොකළහොත් මේ සංකිර්ණ සමාජය තුළ ඔවුන් අතරමං වීම වැළැක්විය නොහැකිය. ඔබ ඉපැයූ මුදල්වලින් ඔවුන්ගේත් ඔබේත් නැතිවුණ ගෞරවය නැවත සොයා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. 
m
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment