අබුද්දස්ස කාලෙට මළවුන් නැගිටලා ආවත් දැන් ඉන්න මිනිසුන් ඒ තරම් පුදුමවෙන්නේ නැතැයි ලක්බිම කියන්නට සැරසෙන මේ කතාව පිළිබඳ විස්තර සෙවීමේදී මහවැව මට්ටකොටුව ප්‍රදේශයේ 65 හැවිරිදි
වයෝවෘද්ධ ධීවරයකු විසින් පවසන ලද කතාවක් මෙසේ ගෙන හැර පෑමට සිදුවෙයි.මහවැව නගරයට ආසන්න මට්ටාකොටුව නම් ධීවර ගම්මානයක පදිංචිව සිටි 58 හැවිරිදි සිව්දරු පියකු වූ වර්ණකුලසූරිය සුනිල් ශාන්ත තමෙල් ඉකුත් පෙබ. 23 දින සිට නිවසින් අතුරුදන්ව සිට ඉකුත් මාර්තු 08 දින නැවත යහතින් නිවසට පැමිණියේය. ඒ වනවිට සුනිල්ගේ නිවැසියෝ හා අසල්වැසියෝ එක්ව සුනිල්ගේ දේහය මිහිදන් කර මාර්තු 11 දින ඔහු වෙනුවෙන් දානයක් පිරිනැමීමට කටයුතු සූදානම් කරමින් සිටියෝය.
ඥාතීන්ගේත්, අසල්වැසියන්ගේත් වාසනාවට මේ පුද්ගලයා, දින 13කට පසුව යළි නිවසට පැමිණ ඇත්තේ එදින දිවා කාලයේදීය. යම් හෙයකින් ඔහු මැදියම් රැයට ආසන්න වෙලාවක පැමිණියා නම් මේ වනවිටත් එම නිවැසියන් සිටින්නේ රෝහලකය. එසේත් නැත්නම් බලිතොවිල් යාගයක ආතුරයන් බවට පත් වී හමාරවය.
ඉකුත් පෙබ. 24 දින මට්ටාකොටුව ග්‍රාම නිලධාරී වසමේ 38 බි මට්ටකොටුව මහවැව ලිපිනයේ පදිංචි ඩබ්.ලලිත් කුමාර තමෙල් නම් අයකු අතුරුදන් වී ඇති අයගේ සේයාරුවක්ද රැගෙන ලියුම්කරු හමු විය. සුනිල් ශාන්ත තමෙල් යන අය පෙබ. 23 දින සිට නිවසින් ආගිය අතක් නොමැති බවත්, මේ පිළිබඳව මාරවිල පොලිස් ස්ථානයේ ද පැමිණිල්ලක් සටහන් කළ බවත්, පුවත්පත් මගින් මේ අතුරුදන් වීම ප්‍රසිද්ධ කර දෙන ලෙසත් ඉල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දුරකථන අංකයක්ද ලබාදුන්නේය.
එම දුරකථන අංකය වාරියපොළ පළාතේ සුනිල් ශාන්තගේ ඥාතියකුගේ බව ඒ පිළිබඳව විමසූ අපිට දැනගත හැකි විය. ගතවූයේ දින දෙකකි. පෙබ. 26 වන දින සවස 5 ට පමණ මාදම්පේ කඩුපිටි ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක ප්‍රවෘත්තියකින් ලුණුඔය ප්‍රදේශයම කැළඹී ගියේය.
එම මෘත ශරීරය ගොඩගන්නා විට එය බෙහෙවින් නරක් වී තිබූ අතර දුර්ගන්ධයද අධික විය. එක් අතක් ඔයේ වසන කිඹුලන් ඩැහැගෙන තිබූ අතර මළසිරුර නිරුවත්ව තිබිණි. එය සම්පූර්ණයෙන්ම හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී තිබිණි. පසුව එහි පරීක්ෂණ කටයුතු සඳහා හලාවත මෘත ශරීරාගාරයට යැවිණි.
මට්ටකොටුවේ සුනිල්ගේ ඥාතීන්ටද මේ පුවත සැලවීමට ගතවූයේ සුළු කාලයකි. ඔවුහු සියලුදෙනා හලාවත මූලික රෝහලට ගොස් එය සුනිල්ගේ බවට හඳුනාගත්හ. ඔවුන්ට වැරදුණේ කොතැනදැයි මේ වනවිටත් අනාවරණය නොවූවත්, ඔවුහු සිය මරණාධාර සමිතියෙ සහයද ලබාගෙන සුනිල් වෙනුවෙන් ආගමික වතාවත් ද ඉටුකර සුනිල්ගේ අවසන් කටයුතු සිදු කළහ.
සාමාන්‍යයෙන් කිතුනුවෝ මළගිය ඥාතීන් වෙනුවෙන් පහළොස්දිනකට පසු දානයක් දෙති. එය යෙදී තිබුණේ මාර්තු 11 දින දීය. ඒ වෙනුවෙන් අසල්වැසියන්ගේ සහය ඇතිව සහල්, කුළුබඩු වර්ග එක්රැසක් කරමින් ඊට සූදානම් වෙමින් සිටියහ.
මේ සියල්ල කණපිට පෙරළමින් ඉකුත් මාර්තු 08 වන ඉරිදා සුනිල් නිරුපද්‍රිතව යළිත් නිවසට පැමිණි විට නිවසේ සිටි අයගේ දත කට පූට්ටු විය.
තමන් නිවසින් පිටවන විට කිසිවකුට ඒ බව නොකියූ බවත්, නිවසින් ගොස් විවිධ පළාත්වල කුලීවැඩ කරමින් ජීවත් වූ බවත් ඉන් ලද ආදායමෙන් යළි නිවසට පැමිණි සැටි සුනිල් ශාන්ත පවසා සිටියේ ඉතා සැහැල්ලු සිතිනි. මේ සිද්ධියෙන් සුනිල්ගේ ඥාතීන් පුදුමයටත් අමන්දානන්දයටත් මෙන්ම මහත් වූ ලැජ්ජාවටද පත්වූ බව මෙහිදී නොකියා නොහැකිය.
දැන් ප්‍රදේශය යථා තත්ත්වයට පත්වෙමින් පවතී. එහෙත් මාරවිල පොලීසියේ නිලධාරීන්ට අලුත් කටයුත්තකට ආරම්භයක් දීමට සිදු වී ඇත.
සුනිල් ශාන්තගේ ඥාතීන් සුනිල් යැයි සිතා මිහිදන් කළ පුද්ගලයා කවුරුන්ද අවුරුදු හැටක පෙනුමක් ඇති මොහු සත්‍ය වශයෙන්ම සියදිවි හානිකර ගැනීමට කඩුපිටි ඔයට පැන්නදා...? එසේ නැතිනම් කිසියම් කාර්යයක් කර ගැනීමට ඔය ඉවුර පාවිච්චි කිරීමේදී ඔයට වැටුණාද...?
එසේත් නැත්නම් කිසිවකු මේ තැනැත්තා ඝාතනය කර කඩුපිටි ඔයට දමා පලාගියාද..? ඒ සියල්ලටම වඩා ඔහු කාගේ කවුරුන්ද..? ඔහු කවුරුන් වුවද ශ්‍රී ලාංකීය පුරවැසියකු බව නම් සත්‍ය කරුණකි. ඔහුගේ ඥාතීන් ඔහු පිළිබඳව සොයා නොබලන්නේද..?
මේ ප්‍රශ්නවලට පිළිතුරු කවරදා ලැබේදැයි නොදනිමි.
විමලසේන නම්මුනි
0 comments:
Post a Comment