කවුරු හරි අක්කලා දෙන්නා ඝාතනය කරන්න ඇති


පානදුර, උළුක්කැ‍ලේ ගම්පාරේ අංක 278 දරන නිවසේ තිබි හමුවූ මියගිය දෙදෙනකුගේ අස්ථි කොටස් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පානදුර මූලික රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දසනායක එම ඇටකටුවලට හානි සිදුවීමක් දක්නට නොමැති බවත් එම අස්ථි කොටස් පිළිබඳව
වැඩිදුර පරීක්ෂණ කළයුතු බවත් සඳහන් කළේය. පසුගිය 12 වැනිදා මෙසේ හමුවී ඇති අස්ථි කොටස් එම නිවසේ හුදෙකලාව ජීවත් වූ එක කුස උපන් සොහොයුරියන් දෙදෙනෙකුගේ බව පානදුර උතුර ‍පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.
ආබාධිත තත්ත්වයේ අස්ථි කොටස් හිමි දෙන්නා බණ්ඩිගේ පද්මා ප්‍රනාන්දු (70) සහ බණ්ඩිගේ මල්ලිකා ප්‍රනාන්දු යන දෙදෙනාගේ බවත් ඔවුන් දෙදෙනා නිවසින් එළිපහළියට නොබැස පිටස්තර අය සමග ඇසුරක් නොදැක්වූ බව පවසන ‍පොලීසිය එම අස්ථි කොටස් අයිති දෙදෙනාගේ පවු‍ලේ සොහොයුරන් පිට පළාත්වල ජීවත්වන බවද සොයාගෙන තිබේ.
එම නිවසේ තිබූ අස්ථි කොටස් පිළිබඳව මියගිය කාන්තාවන් දෙදෙනාගේ බාල සොහොයුරෙකු වන බදුරලිය පදිංචි බණ්ඩිගේ ඩික්සන් ප්‍රනාන්දු යන අය ‍පොලීසියට මෙසේ පවසා තිබේ.අස්ථි කොටස් හමුවූ නිවස ඉදිකෙරෙව්වේ මමයි. එය මියගොස් සිටින අක්කලා දෙදෙනාට පදිංචි වීමට ඉඩ දී තිබුණා. ඒ අක්කලා දෙන්නා විවාහ වෙලා නෑ. මම අවුරුදු එකහමාරකින් පමණ මේ නිවසට ඇවිත් නෑ. ඒ කාලය තුළ අක්කලා දෙන්නාම දැක්කෙත් නෑ. පසුගිය 11 දා මගේ ඥාති දියණියක් ඒ නිවසේ දොරවල් ඇර දමා තිබෙනු දැක ඒ බව මට දුරකථනයෙන් දැනුම් දුන්නා. මා වහා ඇවිත් බලන විට අක්කල දෙදෙනාම දුටුවේ නෑ. ඒ නිසා මම ඒ බව පානදුර ‍පොලීසියට දැනුම් දුන්නා. තවදුරටත් සොයා බලා පසුදින උදේ පැමිණ දැනුම් දෙන ලෙස මට ‍පොලීසියට කීවා. ඒ අනුව මම 12 වැනිදා අක්කලා සිටි නිවසට ගොස් දොර ඇර බැලූ විට අක්කලාගේ ‍පොත් පත් පත්තර කාමරයේ තැන් තැන්වල විසිරී තිබෙනවා දුටුවා. මා එදිනද ‍පොලීසියට ගොස් දුටු සියල්ල ගැන පවසා ‍පොලීසිය සමග විත් බලනවිට පුටු කබල් දෙක සහ ඇටකටු හමුවුණා. කවුරු හරි ඒ දෙන්නව ඝාතනය කරන්න ඇති කියා මට සැක සිතෙනවා.
පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැල්ලවත්ත මහතා 12 වැනිදා අස්ථි කොටස් හමුවූ නිවසට පැමිණ ස්ථානගත පරීක්ෂණයක් කොට දුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණ අතර පානදුර ‍පොලිස් කොස්තාපල් 40687 තොම්සන් කුමාර මහතා පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ තොරතුරු ඉදිරිපත් කළේය. මියගොස් මාස ගණනාවක් තිස්සේ නරක් වෙමින් තිබි අස්ථි කොටස් හමුවූ එම මරණ දෙක පිළිබඳව පානදුර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න බඹරැන්ද මහතාගේ උපදෙස් මත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment