දිනපතා වන සතුන් ඝාතනය කරනවා මදිවාට ලොව පුරා අපේ දුර්ලභ සතුන් සහ සත්ව කොටස් විකිණීමේ ජාවාරමක්

President-Kenyan
අන්තර්ජාතික වනජීවී දිනය ඉකුත් තෙවැනිදාට යෙදී තිබුණි. වර්ෂ 2013 දෙසැම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසිවාරයේදී සෑම වසරකම මාර්තු තුන්වැනිදා ලෝක වනජීවී දිනය සැමරීම සඳහා යොදා ගැනීමට ලෝක නායකයෝ එකඟ වූහ. ඒ 1973 වසරේදී CITES සම්මුතිය ඇතිකර
ගනු ලැබූ දිනය මාර්තු 03 වැනිදා වන බැවිනි. ඒ අනුව 2014 වසරේදී මුල්ම ලෝක වනජීවී දිනය සැමරුනු අතර මෙවර සමරනු ලබන්නේ දෙවැනි අන්තර්ජාතික වනජීවී දිනයයි. වනජීවී අපරාධ පිළිබඳව බරපතළ ලෙස සිතන්නට කාලය එළඹ තිබේ (it's time to get serious about wildlife crime) යන්න මේ වසරේ වනජීවී දින තේමාවයි. ලෝකයේ ෙජෙව විවිධත්වය අතින් අති උණුසුම් කේන්ද්‍ර අට අතරින් එකක් ලෙස ගැනෙන ශ්‍රී ලංකාවට ද වනජීවී අපරාධ මැඬලීම හා වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරී ඇති බව අපගේ විශ්වාසයයි. නමුත් අතීතය පුරා මෙන්ම වර්තමානයේදී ද ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් විය යුතු බලධරයන් හා නිලධරයන් තමන් වෙත පැවරී ඇති වනජීවී සංරක්ෂණයේ වගකීම මේ දක්වාම හරිහැටි වටහාගෙන එය ඉටුකිරීම සිදුකර ඇතිද යන්න ගැටලු සහගතය. දිනයකින් කතාකර අවසන් කළ නොහැකි තරම් විශාල ඛිෙදවාචකයන් රැසකට අපේ වනජීවී සම්පත ගොදුරුවී ඇත්තේ එබැවිනි.
ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධ පිටුදැකීම සඳහා නීතියෙන් බලය පැවරී ඇත්තේ 2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධන පනත මගිනි. එම පනත උල්ලංඝනය කරමින් මෙරට වනජීවීන්ට එරෙහිව සිදුකරන සියලු වැරදි එකී පනත අනුව වනජීවී අපරාධ ගණයට වැටේ. එසේම අප රට අන්තරායට ලක්වූ වනජීවී විශේෂ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ප්‍රඥප්තියටද (Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora - CITES) අත්සන් තබා ඇති බැවින් එමගින් ද අප විශේෂයෙන් වනජීවීන් හා එම කොටස් වෙළෙඳාම සම්බන්ධ වනජීවී අපරාධ මැඩලීමට වගකීමෙන් බැඳේ. නමුත් නීති අණපනත් කොතෙකුත් පැවතිය ද ඒවා ක්‍රියාත්මක කරන යාන්ත්‍රනයන්ගේ ඇති ගැටලු සහගත තත්ත්වයන් හා ධන, නිල හා දේශපාලන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය මේ වන විට ඉතා ඛිෙදනීය අඩියකට වැටී ඇති බව කිව යුතුය.
වනජීවීන් ස්වාභාවික පරිසරවලින් අල්ලා විකිණීම සහ වනජීවී කොටස් වෙළෙඳාම ලෝකයේ විශාලතම නීතිවිරෝධි ධනෝපායන මාර්ග අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ද වනජීවීන් හා සත්ව කොටස් ජාවාරම් මෙරට වනජීවීන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයක්ව ඇති බව නොකිවමනාය. එසේම වෙළෙඳාම මත පදනම් නොවී වෙනත් හේතු මත සිදුකරන වනජීවීන් ඝාතනය කිරීම (උදා : වගා ආරක්ෂා කරගැනීම හා කාලකන්නි සතුටක් ලැබිම සඳහා), වනජීවීන්ට ශාරීරික පීඩා ඇතිකිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම හා අන්තර්ජාතික වනජීවී වෙළෙඳාම් අතරමැදියෙකු ලෙස ක්‍රියා ආදී අංශද වනජීවීන්ට එරෙහිව සිදුවන අපරාධ අතර වේ.
ශ්‍රී ලංකාවේ දිනපතා විශාල වශයෙන් විවිධ හේතූන් නිසා වනජීවීන් ඝාතනය කිරීම් සිදුවේ. මස් හා සත්ව කොටස් ලබාගැනීම පිණිස සිදුකෙරෙන ඝාතනයන්ට අමතරව වගා ආරක්ෂා කරගැනීම සඳහා ද මෙසේ වනජීවීන් ඝාතනය කිරීම සිදුවේ. තම පාරම්පරික වාසභූමි ආක්‍රමණය කරමින් එල්ල කරන පීඩනය හේතුවෙන් ඊට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිරෝධය දක්වන අලි ඇතුන් ද විවිධ ක්‍රම මගින් ඝාතනය කෙරෙයි. එවැනි සෘජු ඝාතනවලට අමතරව වනජීවීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මතෛක් අපගේ අවධානය ප්‍රමාණවත් තරම් යොමුවී නැති අංශයක් ලෙස රිය අනතුරුවලට ලක්කර වනජීවීන් ඝාතනය කිරීම දැක්විය හැකිය. දුර්ලභ සතුන්ගේ වඳවීම ඉක්මන් කරන මහපාරේ මරණය මැයෙන් අප මීට වසර කිහිපයකට පෙරද මේ පිළිබඳව කරුණු දැක්වීමු. දුම්රිය හා වෙනත් රථවාහන අනතුරු නිසා විශාල වශයෙන් වනජීවීන් ඝාතනයට ලක්වුවද ඒ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරති. වනජීවී වාසභූමි හරහා ගමන් කරන දුම්රිය හා මහා මාර්ග පද්ධතිය වනජීවීන්ට මාරකයක් බවට පත්ව ඇත. දුම්රියවල ගැටී වන අලින් මරණයට පත්වන අවස්ථා වසරකට දහයක් පමණ වාර්තා වේ. 
ඊට අමතරව මහාමාර්ග හරහා ගමන් කිරීමේදී අලි ඇතුන්ගේ සිට කුඩා කෘමි සතුන් දක්වා විවිධ ප්‍රමාණයේ වනජීවීන් ඝාතනයට ලක්වේ. වන අලි පිවිසුම් ආශ්‍රිතව දක්වා ඇති වේගසීමා උල්ලංඝනය කරමින් බිමත්ව රිය පදවන රියැදුරන් නිසා දුම්රියවල ගැටී අලි ඇතුන් මරණයට පත්වන බවට චෝදනා එල්ල වේ. මහමග ගමන් කරන මිනිසුන් අනතුරට ලක්කරන රියැදුරන් සම්බන්ධයෙන් ‍පොලීසිය මහත් උනන්දුවෙන් නීතිය ක්‍රියාත්මක කළද වනජීවීන් රිය අනතුරුවලට ලක්කිරීම වනජීවී අපරාධයක් ලෙස සලකා ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ ‍පොලීසියට හෝ අවශ්‍යතාවක් ඇතිවී නැත. එසේම විවිධ මාර්ග ව්‍යාපෘති මගින් තවදුරටත් මෙරට අතිශය සංවේදී වනජීවී නිකේතන කැබලිකරණය කිරීමට උනන්දු වන ඊනියා සංවර්ධනවාදීන් ද මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැත. නමුත් කෙටි වර්ෂාවකින් පසුව පවා වනාන්තරයක් හරහා නොව කුඹුරු යායක් හරහා ගමන් කරන මාර්ගයක ගමන් කළ පමණින් රිය අනතුරුවලට ලක්ව කොතෙකුත් වනජීවීන් ඝාතනයට ලක්වේද යන්න ඔබටද නිරීක්ෂණය කළ හැකිය.
වනජීවීන් නොමරා මරණ ආකාරයේ විවිධ අමානුෂික වධ බන්ධනවලට ද මෙරට වනජීවීන් ලක්වේ. උදාහරණ ලෙස හක්ක පටස් පුපුරණ ද්‍රව්‍ය ඇටවුම්, මදු, ඇණ, ලෑලි, ගිනි තබන ලද ඉටි රෙදි ආදී මෙකී නොකී කෲර දඬුවම් දැක්විය හැකිය.
වනජීවීන් හා උන්ගේ කොටස් විකිණීමද ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද සිදුවන බරපතළ වනජීවී අපරාධයකි. අවි ආයුධ හා විෂ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට පසු ලොව විශාලතම ධනෝපායන මාර්ගය බවට පත්ව ඇත්තේ වනජීවී හා වනජීවී කොටස් වෙළෙඳාමයි. අප රටේ මෑතකාලීනව විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අලි පැටවුන් ජාවාරමද මෙවැනි වනජීවී ජාවාරමකි. ඒ ඔස්සේ ජනනය වන රුපියල් කෝටි ගණන් කළු සල්ලි මගින් වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පවා මිලදී ගැනීමට අපරාධකරුවන්ට හැකියාව ලැබි ඇත. තවද මෙරටට ආවේණික උරගයන්, උභයජීවීන් හා මිරිදිය මසුන් ආදී සතුන් ද නීති විරෝධී ලෙස ස්වාභාවික පරිසරයෙන් අල්ලා අපනයනය කිරීම සිදුවේ. 
ලොව විශාලතම උරග වෙළෙඳ‍පොළක් වන ජර්මනියේ Hamm fair හි ද ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ කටුස්සන් විශේෂ විකිණීම සිදුවන බව විදෙස්ගත මිතුරෙකුගෙන් මෙම ලියුම්කරුට දැනගැනීමට ලැබි ඇත. ඇත්දළ, රයිනෝ අං, ව්‍යාඝ්‍ර සතුන්ගේ ශරීර කොටස් හා සත්ව සම් ආදී කොටස්වලටද ලොව පුරා විශාල ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාවේද ඇත්දළ, ගජමුතු, කොටි සම්, කොටි දත් ආදී සත්ව කොටස්වලට වෙළෙඳ‍පොළක් පවතී.
වනජීවීන්ට තුවාල කිරීම හෝ ඝාතනය හෝ කිරීමට අමතරව වනජීවී වාසස්ථාන විනාශ කිරීමද වනජීවීන්ට කරන බරපතළ අපරාධයකි. ඊනියා සංවර්ධනය පසුපස හඹා ගිය ඉකුත්  ආණ්ඩුව පසුගිය කාලයේ මේ ආකාරයෙන් සිදුකළ වනජීවී වාසස්ථාන විනාශ කිරීම් ප්‍රමාණය මතෛකැයි කියා නිමකළ හැකි නොවේ. අක්කර දස දහස් ගණනින් වනාන්තර ඉඩම් විවිධ ව්‍යාපෘතිකරුවන්ට විනාශකරන්නට ඒ වකවානුවේ හැකියාව ලැබි තිබුණි. වර්තමාන මෛත්‍රී පාලනය යටතේ මෙරට වනජීවීන්ට ද යහපාලනයෙන් සෙතක් හිමිවෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා දල්වාගෙන සිටියද ඒ පිළිබඳව ද ගැටලු පැනනැගී තිබේ.
අන්තර්ජාතික වනජීවී කොටස් ජාවාරම සිදුවන මාර්ගයේ මධ්‍යගතව පිහිටීම නිසා ශ්‍රී ලංකාවට එම ජාවාරම් මැඩලීමේ දී පැවරී ඇති වගකීමද විශේෂයෙන් අවධානය යොමු කළයුතු අංශයකි. මීට වසර කිහිපයකට පෙර අප්‍රිකානු රටක සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි රාජ්‍ය වෙත ප්‍රති අපනයනය කිරීමට සූදානම් කර තිබූ අප්‍රිකානු ඇත්දළ 356ක් අත්අඩංගුවට ගැනීමට මෙරට රේගුවට හැකිවීම මීට කදිම නිදසුනකි.
ඇත්දළ වෙළෙඳාමෙන් තම රටේ ආර්ථික ශක්තිය පවා ඉහළ නංවා ගතහැකි කෙන්යාවේ හිටපු ජනාධිපති ඩැනියෙල් අරාජ මොයි මහතා 1989 වසරේදී මෙම ‍ලේ තැවරුණු ඇත්දළ ජාවාරම පිටුදැකීම සඳහා තම රටේ වනජීවී බලධරයන් විසින් අත්අඩංගුවට ගැනුණු ඩොලර් මිලියන 3ක් වටිනා ඇත්දළ ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළ ආකාරය මුළුමහත් ලෝකයටම පාඩමක් විය.
මෛත්‍රී පාලනය ආරම්භවී මේ වන විට දෙමසක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන ගමනේදී එය තීරණාත්මක කාල පරිච්ජේදයකි. මෛත්‍රී පාලනය යටතේ ද දින සියය ඇතුළත පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාවට  නංවන්නට ‍පොරොන්දු වූ ක්ෂණික සහන වැඩසටහන් ගණනාවක් විය. 
ඒවා නම්,
1. සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම.
2. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිත බව පිළිබඳව වගබලා ගැනීම.
3. පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
4. දැනට හානි සිදුවී ඇති හෝ විනාශ වීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම.
5. සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ
6. සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම යනාදියයි.
නමුත් පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අවංකවම ලැදියාවක් දක්වන පිරිස් අපේක්ෂා කළ ආකාරයෙන් ඉහත ‍පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය අඩිතාලම දමාගැනීමටවත් වර්තමාන ආණ්ඩුව අ‍පොහොසත් වී හෝ අතපසුකර ඇති බව කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධවල වපසරිය ඉතා පුළුල් පරාසයක විහිදී පවතී. එබැවින් එම වනජීවී අපරාධ පාලනය කර වනජීවීන්ට සුවසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමද එක රැයකින් පහසුවෙන් සිදුකළ හැකි නොවේ. නමුත් ඒ සඳහා පදනම දමා ගැනීම සඳහා බොහෝ බලධාරීන් මේ වන විට කටයුතු යොදා තිබිය යුතුය. වනජීවීන්ට සිදුවන අගතිගාමී බලපෑම් අවම කිරීම සඳහා 2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ ප්‍රතිපාදන නොබියව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ හැකි වනජීවී සංරක්ෂණ දොපර්තමේන්තුවක් අත්‍යවශ්‍යය. එම දෙපාර්තමේන්තුව පාරිශුද්ධ ආයතනයක් බවට පත් නොකර වනජීවී අපරාධ මැඩලීම පිළිබඳව කතා කිරීම මිථ්‍යාවකි.
අපගේ මාතෘභුමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන යන ඇතැම් වැඩසටහන් සාධනීය බව නොකිවමනාය. එසේම එපරිද්දෙන්ම මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමට ද පාලකයන් මුල සිටම කැපවීම අත්‍යවශ්‍ය වෙයි. ඒ මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළවලද අද දවසේ භාරකරුවා වන බැවිනි. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් හෝ සම්බන්ධයෙන් හඬ නැඟීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළවල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක්  හෝ අකටයුත්තක් හෝ නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෲර හා අමානුෂික ආකාරයට බව පාලකයන් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අපි බොහෝ ප්‍රමාද වැඩිය.
සුපුන් ළහිරු ප්‍රකාශ්
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment