සිරුරේ බර අඩු කර ගැනීමට ‘නොකා සිටි’ සුරූපිනියකගේ ඛිෙදවාචකය

Rechal
බොහෝ තරුණ කාන්තාවන් සිය සිරුරේ හැඩය හෝ ප්‍රමාණය පිළිබඳ කිසිවිටකත් තෘප්තිමත් නැත. සමහරුන් තමන් මහත වැඩි යැයි කියමින් ආහාර අඩු කරන අතර සමහරු තමන් කෙට්ටු වැඩි යැයි කියමින් වැඩි
වශයෙන් ආහාර ගනිති. සාමාන්‍යයෙන්  මධ්‍යම ප්‍රමාණයක සිරුරක් ඇති තරුණියන්ට පවා බොහෝවිට සිය සිරුර පෙනෙන්නේ අතිශය තරබාරු ආකාරයෙනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ තරුණියන් සිය ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීම හෝ ආහාර වේලක අඩංගු විය යුතු ‍පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අඩු කිරීමට හුරු වී තිබේ. ඔබත් එවැනි තරුණියක නම් පළමුව මෙම ලිපිය කියවන්නැයි අපි ආරාධනා කරන්නෙමු.
රේචල් ෆාරුක් හොලිවුඩ් සිනමාවේ චරිතාංග නිළියක බවට පත් වූයේ වයස අවුරුදු දහසයේ දීය. ඇගේ දක්ෂතාව සහ හැකියාව දිනෙන් දිනම ඇයව හොලිවුඩ් තාරකාවක බවට පත් කර තිබිණි. මුලින් ළමා නිළියක ලෙස සිනමාවට අවතීර්ණ වූ ඇයට ක්‍රමයෙන් තාරුණ්‍යයට පත්වන විට සිය රූ සපුව පිළිබඳව යම් යම් ප්‍රශ්න රැසක් ඇති වෙන්නට පටන් ගෙන තිබිණි. ඒ අතරින්බරපතළම ප්‍රශ්නය වූයේ  තම සිරුර උසින් අඩු බව සහ මහතින් වැඩි බව හැඟී යාමයි. වයස අවුරුදු විසිහතර ඉක්මවන විට ඇගේ උස අඩි පහයි අඟල් හතක් වූ අතර බර රාත්තල් 110ක් විය. ඇයට අවශ්‍ය වූයේ සිය බරපතළම ප්‍රශ්නය වූ “වැඩි බර” හැකි ඉක්මනින් අඩු කර ගැනීමය. මේ සඳහා ඇය නොකළ දෙයක් නැති තරම්ය.
අවසානයේ ඇය තීරණයකට පැමිණියාය. එනම් තමන්ට හැකිතාක් ආහාර අඩු කරන්නටය. ඇය සිය ආහාර වේල් සංඛ්‍යාව දෙකක් දක්වා පහළ දැමුවේ ඒ ආකාරයටය. උදෑසන ආහාර අඩකින් පමණ අඩු කර ලබා ගත් ඇය දහවල් ආහාර වේල වෙනුවට විවිධ පාන වර්ගයන් පමණක් ලබා ගත්තාය. රාත්‍රී ආහාර වේල ද ලබා ගත්තේ වෙනදා මෙන් නොව ඉන් අඩක් පමණි. මේ ආකාරයට මාස තුනක් තුළ අගේ බර රාත්තල් පහකින් අඩු කර ගන්නට ඇයට හැකි විය. ඉන් පසු ඇය සිය අපූර්ව ආහාර රටාව දිගින් දිගටම ඒකාකාරීව පවත්වා ගත්තාය. එසේ වුවද අවුරුදු දෙකක් පමණ ගත වන විට ඇගේ බර අසාමාන්‍ය ආකාරයට අඩුවන බව ඇයට මේ නිසාම වැඩිපුර ආහාරගත යුතුය යන්න සිතුවද ඇයට ආහාර රුචියක් ද ඇති වූයේ නැත.
Rechal1සිය අතිශය කාර්ය බහුල ජීවිතය නිසා සිරුරේ අසාමාන්‍ය බර අඩුවීම පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගන්නට පවා ඇයට වේලාවක් තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රම ක්‍රමයෙන් ඇගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට ලක්වීමය. වෛද්‍ය උපදෙස් මත නිසි ‍පෝෂණයක් සහිත ආහාර ලබාගත යුතු වුවද ඇයට ඒ සඳහා රුචියක් තිබුණේ නැත. අවසානයේ වෛද්‍යවරුන් පැවසුවේ ඇය “අනොරෙක්සියා නර්වෝසා” නම් රෝගී තත්ත්වයෙන් පසුවන බවයි. මෙම රෝගය සඳහා මේ දක්වා ඖෂධ සොයාගෙන නැත. මෙහිදී සිදු වන්නේ සිරුර ක්‍රමයෙන් වැහැරීමට ලක්වන අතර ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැති වී යාමය. මේ නිසාම වසර කීපයක් ගත වන විට ශක්තිය පවා නැති වීමෙන් ඇවිද ගත නොහැකි තත්ත්වයට පවා පත්වේ.
මේ වනවිට තිස්හත් හැවිරිදි වියේ පසුවන රේචල් වර්තමානයේ තනිව නැගී සිටින්නට පවා නොහැකි තත්ත්වයක පසුවේ. මේ නිසා ඇගේ සැමියා සිය රැකියාවෙන් පවා ඉවත් වී රේචල් වෙනුවෙන් කැප වී සිටී. මේ නිසාම පසුගිය දිනෙක රේචල් කුඩා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් තමන්ට උදව් අවශ්‍ය බව ලොව පුරා සිටින ඇගේ රසික ජනයා වෙත දන්වා සිටියාය.
අනොරෙක්සියා නම් රෝගී තත්ත්වයට බොහෝවිට ගොදුරු වන්නේ කාන්තාවන්ය. පිරිමින් මෙයට ගොදුරුවීමේ සම්භාවිතාව දහසට දශම තුනකි. නමුත් කාන්තාවන් එයට ගොදුරුවීම දහසට එකක් පමණ වේ. කාන්තාවන් අතුරින්ද නිළියන් සහ නිරූපිකාවන් අනොරොක්සියා රෝගයට ගොදුරු  වීම ඉහළ අගයක පවතී. එයට හේතුව ඔවුන් සිය සිරුර සිහින්ව තබා ගැනීම සඳහා ආහාර පාලනය කරන්නට යොමු වීමය.
රේචල් යනු මෙම රෝගයට ගොදුරු වූ පළමු යුවතිය නොවේ. මීට පෙර වයස අවුරුදු දහ අටේදී සිසී නම් ඇමෙරිකානු මෝස්තර නිරූපිකාවක ද, වයස අවුරුදු 34 දී වැ‍ලේරියා නම් නිරූපිකාවක ද මෙම රෝගයට ගොදුරු වූවාය. වෛද්‍යවරුන් පවසන්නේ යම් තරුණියකට සිය බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවක් ඇතිනම් එයට කළ යුත්තේ ආහාර අඩු කිරීම නොව ආහාර අවශ්‍ය තරම් ලබා ගන්නා අතර නිසි පරිදි ව්‍යායාම කිරීම බවයි.

දුලංජලී මුතුවාඩිගේ
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment