ස්වාසිලන්ත රජුගේ අන්තඃපුරයට යද්දී රිය අනතුරින් මියගිය රූමතියෝ

Mhoje mswati
අප්‍රිකාවේ දකුණු කොටසේ පිහිටා ඇති කඳුකර රාජ්‍යයක් වූ ස්වාසිලන්තය අපට එතරම් හුරුපුරුදු රටක් නොවේ. ශ්‍රී ලංකාව සහ ස්වාසිලන්තය අතර වෙළෙඳ, ක්‍රීඩා වැනි කිසිදු ක්‍ෂේත්‍රයක ප්‍රබල සබඳතා ගොඩනැගී නැති බැවින් ශ්‍රී ලංකාවේ අප ස්වාසිලන්තය තියෙන තැනක් හෝ නොදැන සිටීම පුදුමයක් නොවේ. එහෙත්
මීට වසර කිහිපයකට පෙර ස්වාසිලන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා හිටිවනම කතාබහ කරන්නට විය. එපමණක්ද නොව ස්වාසිලන්තයේ වන මිස්වාටී (Mswati III ) රජුද ශ්‍රී ලංකාවේ චාරිකා කරන්නට යෙදුනි. ස්වාසිලන්ත - ශ්‍රී ලංකා හදිසි සබඳතාවට හේතු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාසිලන්ත රජු කෙරෙහි දැක්වූ සුවිශේෂී හිතවත්කමය. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට වඩා ස්ත්‍රී ලෝලියෙකු ලෙස ලොව ප්‍රකටව සිටි මිස්වාටි රජු පිළිබඳ අදටත් ජාත්‍යන්තරයේ ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවේ.
හුදකලා රාජ්‍යයක් වූ ස්වාසිලන්තය පසුගිය සතියේ සිදුවූ මාරක රිය අනතුරක් නිසා මේ වන විට ලෝකයේම අවධානය දිනා ගනිමින් සිටියි. මෙහි විශේෂත්වය වනුයේ මේ රිය අනතුර ස්වාසිලන්තයේ රජු සමගද සෘජු සබැඳියාවක් පෙන්වීමයි.
ස්වාසිලන්තයේ Mbabane සහ Manzini අතර මහා මාර්ගයේ සිදුවූ මෙම රිය අනතුරින් 38 දෙනෙකු මිය ගොස් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුව තිබේ. අනතුරින් මිය ගිය සියලු දෙනාම ළාබාල යුවතියන් සහ තරුණ කාන්තාවන් වන අතර ඔවුන් සියලු දෙනා Mswati III  රජුගේ ස්වයංවරයට සහභාගි වනු පිණිස ගමන් කරමින් සිටියෝ වෙති.
මේ වන විටත් තරුණ බිරින්ඳෑවරු 15 දෙනෙකු සමග දිවි ගෙවනා ස්වාසිලන්තයේ මිස්වාටි රජුට දරුවන් 25 දෙනෙකි. තම 16 වෙනි බිසව ලෙස කන්‍යාවියක් තෝරා ගැනීමට අගෝස්තු 30 වෙනිදා ස්වයංවරයක් සංවිධානය කිරීමට රජු නියෝග කර තිබුණ බව වාර්තා වෙයි.
ස්වාසිලන්තයේ රජු වෙනුවෙන් පවත්වන ස්වයංවරය Umhlanga Reed dance ලෙස හඳුන්වා දෙනු ලබයි. මෙම උත්සවයේ විශේෂත්වය වනුයේ එය ස්වාසිලන්තයේ මව් රැජින සැමරීමේ උත්සවය ලෙස නම්කර තිබුණද එහි අවසන් ප්‍රතිඵලය රජුගේ අන්තඃපුරයට තවත් කන්‍යාවියක් එක්වීම පමණක් වීමයි.
මෙම රීඩි නැටුමට 40000 පමණ වන ස්වාසිලන්ත යුවතියන් පිරිසක් සහභාගි වන අතර ඔවුන්ගෙන් බහුතරයක් පූර්ව ලිංගික සබඳතා පවත්වා නැති කන්‍යාවියන් වෙයි. කන්‍යාවියන්ට අමතරව තවත් තරුණ ස්වාසිලන්ත කාන්තාවන්ද මෙම උත්සවයට සහභාගි වෙයි. දින 8ක් පුරා පැවැත්වන මෙම රීඩි නැටුම ස්වාසිලන්තයේ රාජකීය ගම්මානයේ පැවැත්වෙන අතර සහභාගි වන තරුණියන් දින 8 පුරාම ගීත ගයමින් නර්තනයේ යෙදෙයි. 
විශේෂත්වය වනුයේ මේ දින 8 පුරාම ඔවුන් නර්තනයේ යෙදෙනුයේ උඩුකය නිරුවතින් වීමය. ඔවුන් අඳිනා එකම ඇඳුම වනුයේ ඉඟට අඳිනා අඟල් හතරක් පහක් පමණ වන කෙටි රෙදි කඩකි. මෙම කුඩා රෙදිකඩ ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ වසාගැනීමටවත් ප්‍රමාණවත් නොවන බැවින් රීඩි නැටුම ලෝකයේ බොහෝ රටවල් නිර්දය ලෙස හෙළා දකියි. මිස්වාටි රජුද දින 8ම තරුණියන්ගේ රූ සපුව නිරීක්ෂණය කරමින් නැටුම් පිටියේ කල් ගෙවයි. අට වෙනි දින අවසානයේ ඔහු තවත් කන්‍යාවක් සිය අන්තඃපුරයට තෝරා ගනියි.
Princess Swaziland
පසුගිය 29දා දරුණු රිය අනතුරට මුහුණ දුන්නේද රජුගේ 16 වෙනි මෙහෙසිය වීමට බලා‍පොරොත්තු වෙන් රීඩ් නැටුමට සහභාගිවන්නට රාජකීය ගම්මානය බලා යමින් සිටි තරුණියන් පිරිසකි. 100කට අධික තරුණියන් පිරිස අනාරක්ෂිතව රැගෙන ගොස් ඇත්තේ විවෘත ට්‍රක් රථයකිනි. මෙම ට්‍රක් රථය වෑන් රථයක ගැටී ඇති අතර ඒ සමගම පසුපසින් පැමිණි තවත් ට්‍රක් රියක ද ගැටී ඇත. විවෘත ට්‍රක් රථයේ සිටි සුරූපිනියන් සීසීකඩ විසිවී ගොස් ඇති අතර එම ස්ථානයේදීම 13 දෙනෙකු මියගොස් තිබේ. රෝහ‍ලේදී තවත් 20 දෙනෙකු මියගොස් ඇත. එහෙත් මෙම සිදුවීම ස්වාසිලන්ත රජයේ පුවත්පත් වාර්තා කර ඇත්තේ 13 දෙනෙකු මියගිය ලෙසිනි. නමුත් පසුව ඔවුන්ද මිය ගිය ප්‍රමාණය 38ක් බව වාර්තා කර ඇත. ස්වාසිලන්ත ටෙලිග්‍රාෆ් ඇතුළු පුවත්පත් පවසන ආකාරයට මියගිය ප්‍රමාණය 38 ඉක්මවා යයි. තහවුරු නොකළ වාර්තා පවසන ආකාරයට මිය ගිය ප්‍රමාණය 65 දෙනෙකුට වැඩිවීමටද ඉඩ ඇත. ස්වාසිලන්ත රජය මේ වාර්තා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර තිබෙනා අතර 38 දෙනෙකු පමණක් මිය ගොස් ඇති බව ඔවුන් පවසයි.

මේ පිළිබඳ අදහස් පළකරනා ස්වාසිලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනුයේ මේ අනතුර ස්වාසිලන්ත ජනතාව ගෙවනා කටුක දිවි පැවැත්ම ලෝකයට පවසන බවයි.
“මසට මරන්නට බැටළුවන් ගෙන යන ආකාරයට” විවෘත ට්‍රක් රථයක ගාල් කර රජ දැක්මට කන්‍යාවන් ගෙන යන වෙනත් රටක් ලොව නැති බව එම පුවත්පත පවසයි. සැප්තැම්බර් මස 9 වෙනිදා රාත්‍රියේ තම 16 වෙනි බිරිඳ සමග යහන්ගතවීමේ සිහින දකිමින් සිටි මිස්වාටි රජු මෙම රිය අනතුර නිසා දැඩි කම්පාවට පත්ව ඇත. අගෝස්තු 30දා ඇරඹීමට නියමිතව තිබූ රීඩි නැටුම් උත්සවය අවලංගු කළ ඔහු මියගිය තරුණියන් ජාතික වීරවරියන් බවට ප්‍රකාශ කර තිබේ. එහෙත් ලෝකයේ බොහෝ රටවල් මෙම අනතුරින් සිදුවූ මරණ ස්වාසිලන්ත රජුගේ විකෘති කාමාශාව නිසා සිදුවූ මරණ ලෙස හඳුන්වා ඇත. දකුණු අප්‍රිකානු අගමැති ජෙකොබ් සුමා පමණක් මේ සිදුවීම පිළිබඳ කනස්සල්ල පළකර ඇති අතර ඔහුද බහු භාර්යා සේවනයට නම් දැරූ අයෙකි. 
ස්වාසිලන්තයේ වත්මන් ජනගහනය මිලියන 1.4ක් වන අතර මුළු ජනගහනයෙන් 55, 60 අතර ප්‍රමාණයකට එච් අයි වී වෛරසය ශරීරගතව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ස්වාසිලන්ත රජු එම වාර්තාව පවා ප්‍රතික්‍ෂේප කර තිබෙන අතර උඩුකය නිරුවත් රැඟුම් තම සංස්කෘතියේ අංග බව ඔහු පවසයි. බටහිර රටවල් තම සංස්කෘතික අංග විවේචනය කිරීම නතර කළ යුතු බවද පවසයි.
1968 අප්‍රේල් 19 දින Makhosetive Dlamini නමින් උපත ලද ඔහු 1986 අප්‍රේල් 25 දින  වන මිස්වාටි ලෙසින් ස්වාසිලන්තයේ රජ විය. රාජ්‍ය තාන්ත්‍රික ගමනකදී පවා සියලු කටයුතු දවෛනි තැනට දමා කාන්තාවන් ගැන උනන්දු වන මිස්වාටි රජුට සිය 16 වෙනි බිරිඳ තෝරා ගැනීමට ලබන වසර තෙක් ඉවසා සිටීමට සිදුව ඇත.
ස්වාසිලන්ත රජුට ඕනෑම කාන්තාවක් පිළිබඳ සිතක් ඇතිවුවහොත් ඒ තැනැත්තිය කෙසේ හෝ හිමිකර ගැනීමට පසුබට නොවෙයි. රජුගේ මේ සිරිත නිසා ස්වාසිලන්තයෙන් පලා විත් යුරෝපා රටවල දිවි ගෙවනා කාන්තාවන් රාශියක් ද මේ සිදුවීම සම්බන්ධව ට්විටර් පණිවුඩ මගින් කණස්සල්ල පළකර තිබේ. ස්වාසිලන්තයේ තරුණියන්ගේ ඉරණම පිළිබඳ කතා කිරීමට තවම කල් වැඩි බව පැවැසිය යුතු වෙයි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment