දෙදෙනකුට ආදරය කළ යුවතියක්

26_page_4-th

වයසක් තරාතිරමක් නෑ. අපරාධකාරයන්ට සීමාවක් නෑ. තාත්තා මරලා අම්මා විකුණලා දරුවෝ වෙන්දේසි කරන කාලයක් මේක. පිරිත් පැන්කෙන්ඩියකට නිවන්න බැරි තුන්බියට විශාලාව ගිනි අරං නෙඟා්. අන්න ඒ නිසා උරුමක්කාරයා හමුවෙනතුරු කරුමක්කාරයන්ට අහු නොවී ජීවිතේ ගොඩදාගන්න බලාපන්.


ඇය ශෂිකලා. උපන්නේ මොනරාගල. පවුලේ මැඩිමහල් දුව වෙච්චි ඇය අද කර්මාන්තපුරේ මැසිමකට හිරවෙලා ජීවිතේ මහනවා. අපි අහමු ඇයගේ කතාව. 

ඇය තවම තරුණ ගැහැනියකි. දුක්විඳ වැඩි නිසාමදෝ අවපැහැවූ ගතට යටින් සැඟවගත්තු සිතුවිලි සුන්දරත්වයේ නටඹුන් එදා ඇය මොනතරම් අපූරු කෙල්ලකව සිටින්නට ඇතිදැයි මොනවට කියාපෑවා. 
td
‘‘කොහොමද ශෂිකා ඔයාට’’

‘‘හොඳින් ඉන්නවා’’

‘‘ඔයාගේ ගම්පලාත. මොනරාගල කිව්වා නේද?’’

‘‘කොළඹ ආවෙ කොහොමද?’’

ඇය සිනාසුනා. කියන්නට දහසක් දේ ඇතිබව අඟවමින් සිනාසුනා. 

මගේ තාත්තා මොනරාගල. අම්මා මාතර. මම හැදුනේ වැඩුනේ මොනරාගල. ඉස්කෝලේ ගියෙත් එහෙ. මගේ පවුලේ මමයි නංගි මල්ලි විතරයි. මම ගියේ ගමේ ඉස්කෝලෙට. අම්මාට වගේම තාත්තටත්  ඕන වුණේ අපිට අකුරු සාත්තරේ උගන්වන්න. ඒ වෙනුවෙන් ඒ දෙන්නා සෑහෙන්න අපිව උනන්දු කළා. මගේ තාත්තා කළේ ගොවිතැන්. අපිට එහෙමට කියලා අඩුපාඩුවක් තිබුණේ නෑ. පුළුපුළුවන් විදිහට අපේ තාත්තා අපේ අඩුපාඩු හොයලා බැලූවා. 
අම්මා තාත්තා අපට අකුරු සාත්තරේ උගන්වන්න උත්සහ ගත්තට මට  ඕන වුණේ වෙනම දෙයක්. මම ඉගෙන ගත්තේ මිශ‍්‍ර පාසැලක. ඉස්කෝලේ අයියා කෙනෙක් වුණු තිලක් එක්ක සම්බන්ධයක් තිබුණා මගේ. 

මම ඒ වෙනුවෙන් මැරෙන්න තරම් ආදරේක පැටලිලා හිටියා. තිලක් බොහොම කරුණාවන්ත කෙනෙක්. එයා මට ආදරේ කළා. මං යන එන තැන් හොයලා බැලූවා. මට ඉගෙන ගන්න උදව් කළා. ඒ කිව්වේ පාඩම් අතින් මට හොඳටම උදව්කළා. මම තිලක්ට මගේ ජීවිතේටත් වඩා ආදරේ කළා. මම ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්න නෙවේ තිලක්ව බලන්න. එයා එක්ක කතා කරන්න. අපි අතරේ මොනතරම් බැඳීමක් තිබුණද කිව්වොත් ඉස්කෝලේ ගුරුවරු පවා අපේ ආදරේ ගැන දැනගෙන හිටියා. 

අපට කාගෙන්වත් බාධාවක් තිබුනේ නෑ.

මම දැනගෙන හිටියෙ මම තිලක්ට ආදරේ බව විතරයි. තිලක් කියන්නේ අපේ ගමේ හිටි දුප්පත්ම පවුලක කොල්ලෙක්. අපේ ගෙදර උදවිය තිලක්ගේ පවුලේ අයත් එක්ක ගත්තම අපිට හොඳ සමාජ පිළිගැනීමක් තිබුණා. 

අපි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තු දවසෙ මගේ අම්මා තාත්තා හැසිරුණේ ලෝකෙ පෙරළුණා වගේ. 

අම්මා තාත්තා මොන දේ කිව්වත් කලත් මට  ඕනවුණේ තිලක් එක්ක එකවහලක් යට ජීවත් වෙන්න විතරයි. මට ඒකට හයිය තිබුණට තිලක්ගේ ගෙදරින් තිලක් මාව කසාද බඳිනවට තියා ඒ ගැන හිතනවට වත් කැමති වුණේ නෑ. 

අපේ කැමැත්ත කොහොම වුණත් අපිට තීරණයක් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද මගේ වයස මදිනිසා. කොහොම හරි අපේ ආදරේට සෑහෙන්න ප‍්‍රශ්න ආවා. 

තිලක් වෙන ගෑනු ළමයෙක්ව කසාද බැන්දා. මම තනිවුණා. එදා තිලක් උදාරිව කසාද බැන්ද දවසෙ මට පුළුවන් වුණේ අඬන්න විතරයි. තිලක් වගේ දුප්පත් කොල්ලෙක්ගෙන් මාව බේරගත්ත සතුට මගේ අම්මා තාත්තා බුක්ති විඳිද්දි මම තිලක්ව නැති වීම නිසා දුක්වින්දා. 

අද මම කසාද බැඳලා ඉන්න සාලින්දව මට මුණගැහුනේ ඉන් පස්සේ. සාලින්ද මට මුණගැහුනේ කතරගම ආව ගමනකදි. එයා කොළඹ කෙනෙක්.  මම මුලදි හිතුවෙ එයා වන්දනාවේ ආවගමනක් කියලා. ඒත් පස්සෙ දැනගත්තා එයා කතරගම බංගලාවක් බලාගන්න රස්සාවක් කරනවා කියලා. එයා මං බලන්න ආවා ගියා. තිලක් තරමට නැතත් අපි අතරේ ආදරයක් ඇතිවුණා. 

සාලින්දව අඳුරගෙන අවුරුද්දක් විතර යනකොටවත් මගේ අතීතය ගැන මට එයාට කියන්න පුළුවන් වුනේ නෑ. ඒත් එයා මට එයා ගැන කිව්වා. නොදන්නා කමට මම කරගත්තු කිසිම දෙයක් කටක් ඇරලා මම කොහොම කියන්නද සාලින්දට. 

දවසින් දවස මම ඒ ගැන හිත හිතා වදවින්දා. කොයිතරම් වධයක්ද කිව්වොත් සමහර දාට මට හරියට නින්ද ගියෙ නෑ. 

සාලින්ද මාව ආශ‍්‍රය කළේ කසාද බඳින්න බලාපොරොත්තු වෙන් කියලා මට තේරුණා. 

ඇත්තටම එයා හොඳ කෙනෙක්. ඒත් මම එයාට අවංක වුණේ නෑ. ඒ ගැන මට තියෙන්නේ පසුතැවීමක්. එහෙමයි කියලා සිද්ධ වුණ කිසිම දෙයක් කටක් ඇරලා කොහොම කියන්නද. මට නොතේරුම්කමට උණා කිව්වොත් සාලින්ද පිළිගනීවිද?

එයාගාව තිබුණ හොඳ ගතිගුණ නිසා එයාව නැති කරගන්න මට ලෝභ හිතුණා. අන්තිමේදි අපි කසාද බැන්දා. ඒත් මම හංගගෙන හිටපු හැමදේම අපේ මංගල්ලේ දවසෙ ? සාලින්දට කියන්න සිද්ධවුණා. 

එදා සාලින්දට හරියට කේන්තිගියා. එයා හිටියෙ ලොකු කලකිරීමකින්. එයා කිව්වෙ හිතාමතාම මම එයාව රැුවැට්ටුවා කියලා. මම සමාව ඉල්ලූවා. ඒත් කිසිම සමාවක් තිබුණෙ නෑ.

අපි දෙන්නා මධුසමය ගතකරන්න ගිය කාමරේ මාව දාලා සාලින්ද එළියට බැහැල ගියා. එදා මුළු රෑම මට කරන්න පුළුවන් වුණේ අඬන එක විතරයි. සාලින්ද ආයෙත් කාමරේට ආවෙ රෑ ජාමෙට හොඳටම බීගෙන. 

ඒ වෙලාවෙ මම හිත හදාගත්තා සාලින්ද මාව අතාරිනවා නම් ඒකට මූනදෙන්න මම හිතාගත්තා. ඇත්තටම මම කළේ වරදක්. කසාද බඳින්න කලින් එයාට හැමදේම කියන්න තිබුණා. ඒත් කොහොමද, කොහොම වුණත් සාලින්ද කසාද බැඳපු දවසෙම එයාට මාව එපා වුණා. 

මම හිතුවා ඒ එපා වීමත් එක්ක එයා මාව දාලා යයි කියලා. ඒත් එයා එහෙම කළේ නෑ. මාව කොළඹ එක්ක ආවා. අපි පදිංචි වුණේ එයාගේ මහගෙදර. ඒ වෙනකොට සාලින්ද අලූත් රස්සාවකට යන්නත් පටන් අරං තිබුණේ. 

මොනදේ වුණත් සාලින්ද මාව බාරගත්තා. ඒත් ඒ බාරගැනීම කසාද සහතිකයකට පමණක් සීමා වුණා. මම කෑවද බිව්වද මම අසනීපෙන්ද කියලා හොයලා බලන්න කවුරුවත් හිටියෙ නෑ. ජීවිතේ දවසින් දවස අපායක් වුණා. එකම ගෙදර එකම කාමරේ ජීවත් වුණු අපි ආගන්තුකයො වගේ වුණා. මම ජීවත් වුණේ හිතාගන්න බැරි පසුබිමක. එයාගෙ අම්මා තාත්තාගෙන් වුණත් මට ඒ හැටි ගරුසරුවක් තිබුණෙ නෑ. එයාලත් මට හරියට කෙනෙහෙළිකම් කළා. 

සමහරදාට සාලින්දට මාව  ඕන වුණා. සිහියක් පතක් නැතුව මා ළඟ ඉන්න සාලින්ද උදේම එළියට ගියෙ මං ගැන ඩිංගක්වත් දන්නේ නැති ගාණට. මේ දේවල් කාටවත්ම කියන්න හිතාගෙන හිටපු දේවල් නොවේ. මිස් ඒත් මට කියන්න  ඕන දෙයක් තියෙනවා. හුඟක් ගෑනු ළමයි කරදරේ වැටෙන්නේ නොදැනුම්වත්කම නිසා ආදරේ කරන වයසෙදි හැඟීම් ආසාවල් ඇතිවීම සාමාන්‍යයි. ඒත් ගෑනු ළමයෙක් විදිහට පරෙස්සම් කරගන්න  ඕන දේවල් මොනවද කියලා දැනුම්වත් භාවයක් මට එදා තිබුණා නම් අද මට මෙහෙම වෙන්නේ නෑ. 

වයස අවුරුදු පහළොවේදී මම මොනවද දැනගෙන හිටියෙ. අද මම කොතනද ඉන්නේ. මම එදා හිතුවා මොනවා කළත් කව්රුවත් දැනගන්නේ නෑ කියලා. කොහොම වුණත් දවසින් දවස මගේ ජීවිතේ මගේ කියලා කෙනෙක් නැති වුණා. සාලින්ද කවදාවත් මට සමාව දුන්නේ නෑ. මම තීරණය කළා රස්සාවක් කරන්න. ඒ නිසා තමයි මම ගාමන්ට් එහෙක හෙල්ප කෙනෙක් විදිහට රස්සාවට ආවේ. මම හිතුවා මම රස්සාවට යනවට සාලින්ද අකමැති වේවි කියලා. එහෙම හරි සාලින්දගේ අවධානය මට ලැබෙනවනම් කියලා මට හිතුණා. ඒත් එහෙම වුණේ නෑ. එයා මාව ගණන් ගන්නෙවත් නෑ.

ඔහොම ඉන්න අතරේ මට දරුවෙක් ලැබෙන්න ආවා. ඒ පනිවිඬේවත් සාලින්දව වෙනස්කරන්න හේතුවක් වුණේ නෑ. ඇත්තටම මම එයාට දොස් කියන්නේ නෑ. හැම වරදම මගේ. ඒත් විවාහයට ඉස්සෙල්ලා වුණ සිද්ධියක් නිසා මනුස්සයෙකුට මේ තරම් තරහා වෙලා ඉන්න පුළුවන්ද මම දන්නේ නෑ. 
දරුවා ලැබෙන්න ආවට මම රස්සාවෙන් නතර වුණේ නෑ. කඩින් කඩ හරි මම වැඩට ගියා.

සාලින්දගේ ගෙදර කාගෙන් වත් නැති ආදරයක් කරුණාවක් සොයාබැලීමක් මට ගාමන්ට් එකේ කෙල්ලන්ගෙන් ලැබුණා. ඒ ඔක්කොම ගම් පළාත්වලින් කොළඹ ආව ගෑනු ළමයි. කෑම බීම වුණත් පුළුපුළුවන් විදිහට එයාලා මට හදලා ගෙනත් දුන්නා. සේවා ස්ථානයේ වුණත් දරුවෙක් ලැබෙන්න ඉන්න මට හැම විදිහෙන්ම පහසුකම් ලබා දුන්නා. 

ඇත්තටම ගාමන්ට් එක මට මගේ ගෙදරට වඩා හොඳ තැනක් වුණා. විවිධ පළාත්වලින් ආව කෙල්ලෝ එකාවගේ මාව බලාගත්තා. අපේ රටේ ඔෆිස්වල පාට ගාගත්තු අම්මන්ඩිලා ගාව තියෙන කුහකකම්, නපුරුකම්, මේ අහිංසක කෙල්ලෝ ගාව නෑ මිස්. 

කොහොම කොහොම හරි දරුවා ලැබෙන්න ඇවිත් මාස දෙකක් විතර යද්දි මගේ දරුවා බඬේදිම නැති වුණා. ඒ වෙලාවේ ඉස්පිරිතාලේ ගිය මාව සාලින්ද බලන්න ආවේ නන්නාඳුනන ගෑනියක්ව බලන්න යන ගාණට. ඇත්තටම වෙලාවකට මට හිතුණා සාලින්ද මට ආදරේ කළේ කොහොමද කියලා. අපේ දරුවා ලැබෙන්න ඉද්දිම නැති වුණා. සමහරවිට අපේ ජීවිත එකතුවෙන්න වුණත් තිබුණ හේතුව අපේ දරුවා එයත් අපට නැතිවුණා. එතැනින් පස්සේ සාලින්දගෙයි මගෙයි බැඳීම තවත් ඈත් වුණා.

හැමදාම ඒ විදිහට මට ජීවත්වෙන්න පුළුවන්ද. පල නොකියා සාලින්දගෙ පලා බෙදිල්ල දිහා මමම අවුරුදු තුනක් බලං ගිටියා.  ඕනම දේකට සීමාවක් කෙළවරක් තියෙනවා. ඒත් සාලින්දගේ කිසිම පලි ගැනීමකට සීමාවක් කෙලවරක් තිබුණේ නෑ.

දැන් මම ඉන්නේ ගෙදර නෙවෙයි. අපි දෙන්නා නීතියෙන් වෙන් වුණේ නෑ. ඒත් මම ඉන්නේ වෙනම බෝඩිමක. හැම වෙලාවෙම මට සාලින්දව මතක් වෙනවා. ඒත් අපිට එක වහලක් යට ඉන්න බෑ. අම්මා තාත්තා වුණත් දැන් දන්නවා අපි වෙන්වෙලා ඉවරයි කියලා. 

තිලක් දැන් මොකද කරන්නේ නංගි. 

එයාට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ළඟකදි ගමේ ගියා වෙලාවේ තිලක් මං එක්ක කතා කළා. එයා වුණත් සිද්ධ වුණ හැමදේ ගැනම ඉන්නේ කනගාටුවෙන්. 

එයා මට උදව් කරන්න මාව ජීවත් කරවන්න මගේ අවශ්‍යතා හොයලා බලන්න කැමැති කියලා මට කිව්වා. ඒත් තවත් පවුලකට මැද්දට ඇවිත් කාගෙවත් හොර ගෑනියෙක් වෙලා ජීවත් වෙන්නේ මොකටද මිස්. 

ඒ නිසා මම තිලක්ගේ කිසිම උදව් උපකාරයක් බාර ගත්තේ නෑ. ඉස්සර වගේ නෙවෙයි තිලක්ට දැන් කතරගම ටවුමේ කඩයකුත් තියෙනවා. ඇත්තටම මගේ අම්මා තාත්තා අපට විරුද්ධ නොවුනා නම් අද මගේ ජීවිතේ මොනතරම් සතුටින් ගෙවේවිද? එයා ඉන්නේ හොඳ ආර්ථික ස්ථාවරයක. කොහොම වුණත් වෙන්න තියෙන දේ වළක්වන්න බෑ.

‘‘ඔයාට මේ කර්මාන්තපුරේදි කවුරුවත් හිත ගිය කෙනෙක් මුණ ගැහුණේ නැද්ද?’’ 

ඇයගෙන් පිළිතුරක් නැත. කොහේදෝ අතකට නෙතු දල්වා ඇය සිනාසුනාය. 

මොකද මිස් නැත්තේ. යෝජනා නම් ගොඩක් ආවා. සමහර කොල්ලෝ මට වඩා වයසින් බාල අය. ඒත් මට ඒ කිසිම දෙයක් ගැන හිතන්න බෑ. ඔය අතරේ හිතගිය අයත් හිටිය. ඉස්සර වගේ නෙවෙයි මිස් මට තවත් මගේ ජීවිතේ අවුල් කරගන්න වුවමනා නෑ.

මට අදටත් සාලින්ද ගැන ආඩම්බර වෙන හේතුවක් තියෙනවා. මම ගරු කරන හේතුවක් තියෙනවා. කොළඹ වගේ පරිසරයක හැදුන වැඩුණ කොල්ලෙක් වුණත් කසාද බඳින්න කලින් එයා මට අනවශ්‍ය ගමන් බිමන් යන්න කතා කළේ නෑ. කොටින්ම කිව්වොත් මට මුලින්ම මුණගැහුණ කොල්ලා සාලින්ද වුණානම් එයාගෙන් වෙන්වුණ දවසක මට වෙන කසාදයක් කරගන්න පුළුවන් වෙන විදිහට එයා මාව ආරක්ෂා කළා. 

මගේ කරුමෙට සාලින්ද වගේ වටින කොල්ලෙක් මට නැති වුණා. ඇත්තටම සාලින්ද මාව කොයිතරම් පරෙස්සම් කළාද. මම පාර වරද්ද ගත්තට එයා පලි නෑ. විශ්වාසය කියන දේ නැතිකරගන්න ලෙහෙසි. ඇතිකරගන්න අමාරුයි. 

සාලින්ද හැමදාම කිව්වෙ කසාදයට ඉස්සෙල්ලා නැති වුණු දේට වඩා මම එයාට ඇත්ත හංගපු එක ලොකු වරදක් කියලා. එහෙම ගෑනියෙක් විශ්වාස කරන්නේ කොහොමද ඇහුවා. ඇත්තටම මං එයාව නැති කරගන්න තිබුණ අකමැත්තට නොකිය හිටපු කිසිම දෙයක් නිසා එයාව නවත්ත ගන්නවත් මට පුළුවන් වුණේ නෑ. 

බැඳීමක් ඇතිවෙන්න ශක්තිමත් පදනමක් තියෙන්න  ඕන. ඒ ඔක්කොම නැති කරගත්තු ගෑනියෙක් විදිහට වුණත් මම සාලින්දගෙන් වෙන්වෙලා ඉන්නේ කැමැත්තකින් නෙමෙයි. එකම වහලක් යට එකම කාමරේක සාලින්ද මට වෛර කරනවා බලන්න ඒක අත් විඳින්න මට බෑ. 

සමහරු වෙච්ච දේට මක්කරන්නද කියලා හොයාගත්තු කෙනා එක්ක ගැලපිලා ජීවත් වෙන්න බලනවා. කොහොමටවත් ගලපගන්න බැරිවුණු අය තමන්ට නොලැබුණ දේ ගැන හිතලා කලකිරිලා අනුන්ගේ දේ තමංගේ කරගෙන මගේම කියලා හිතාගෙන ජීවත් වෙනවා. 

විවාහය සොඳුරු සිතුවිල්ලක් වුණේ නොබැන්දවුන්ට විතරක් වෙච්චිකොට කිසිම වේලාවක කිසිම විදිහකින් සම්පූර්ණ නොවුණ විවාහ ජීවිතේ ඉස්සරහා සමහරු හිනාවෙනවා වගේ අඬනවා. ඒ නිසා වැරදුණේ නුඹට විතරයි, නුඹට විතරමයි කියලා නම් හිතන්න එපා.

නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න
m
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment