කාලා බලලා බෝඩිං හොයන්ට බැහැනේ

fggj
ගමේ ඉඳන් කොළඹට එන එවුන්ට බින්න බහින්න තියෙන එකම තැන තමයි බෝඩිම. ඒකත් හොඳ ද නරක ද කියන්න එකපාරම කාලා බලන්නේ නැහැනේ.... සමහර බෝඩිං තියෙනවා බෝඩිං ඇතුළේ රඟේ පේන්නේ ටික දවසක් ගියාට පස්සේ. මොකක් හරි
අවුලක්, එතන හොඳ නැහැ කියලා තව තැනකට යනවා. පිස්සු බල්ලෝ වගේ බෝඩිංවලට මාරු වෙවී ජීවිත ගෙවන පිරිසකුත් මේ කොළඹ ඉන්නවා. ඔය හොඳ තැන් හොය හොයා බෝඩිංවලට පැන පැන යන එවුන්ට කියන්නේ පරිස්සමෙන්.... කොළඹ කියන්නේ සුන්දර තැනක් වගේම අපි නොහිතන රාක්ෂ වෙස් ගත්ත තිරිසන් මිනිස්සුත් ඉන්න සමාජයක්.
fggj
පසුගිය දවසක ඇන්ටිගේ බෝඩිමට කථා කරලා කියපු අනුවේදීය කථාවක් මේ සතියේ ඇන්ටිගේ බෝඩිමෙන් ඔයාලට කියන්න හිතුනා. මේ බෝඩිම තියෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ. රාජගිරිය කියන්නේ කොළඹ නගරය කිට්ටු රාජකාරී වැඩ කරන අයයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයනුයි නවාතැන් ගෙන ඉන්න කොළඹ නුහුරු උදවිය විශාල වශයෙන් ඉන්න ප්‍රදේශයක්නේ.

පසුගිය දවසක රාජගිරිය පැත්තේ බෝඩිමකින් ඇන්ටිගේ බෝඩිමට යෙහෙළියෝ ටිකක් කථා කළා. ලංකාවේ එක් එක් පළාත්වලින් කොළඹට ආපු ඔවුන් දැන් එකිනෙකාට නැතිවම බැරි එකම පවුලක සාමාජිකයන් පිරිසක් වගේ.

ඉතින් කොහොමද බෝඩිං ජීවිතේ
එකමුතුවෙන් හොඳින් ඉන්නවා. අපි එක කාමරේ හතරදෙනෙක් ඉන්නවා. අපි ඔක්කොමල සම වයස්වල අය. ඒ නිසා එකට ඉන්න හරිම ලේසියි. සමහර වෙලාවට පුංචි පුංචි වචන හුවමාරු වෙනවා. එදාට එකෙක් මුල් තැන අරගෙන කථාව සමථයකට පත් කරනවා. අපේ සෙට් එකේ ලොක්කි තමයි උදාරි. අපිට එහෙම කිව්වේ දේවිකා.

දේවිකා කොහෙද වැඩ කරන්නේ?
මම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක, උසස් පෙළ ඉහළින්ම පාස් වුණා. ඒත් කැම්පස් යන්න ලකුණු සුළු ප්‍රමාණයක් මදිවුණා. දෙවැනි වර විභාගය කරන්න වත්කමක් තිබුණේ නැහැ. තව නංගිලා දෙන්නෙක්ම ඉගෙන ගන්නවා. අම්මටයි අප්පච්චිටයි කරදර කරන්න බැරි නිසා මම රැකියාවකට ආවා. අම්මා රැකියාවක් කරන්නේ නැහැ... අප්පච්චිටත් ටිකක් අසනීපයි. මම නංගිලා දෙන්නට ඉගෙන ගන්න සල්ලි දෙනවා. මම දැන් කොළඹට ඇවිල්ලා අවුරුදු පහක් වෙනවා.

අප්පච්චි මාව කොළඹ එක්ක ඇවිල්ලා මුලින්ම නතර කරපු බෝඩිමෙන් තමයි අපි හතරදෙනාම යාළුවෝ වුණේ. නොදන්න පළාතකින් නොදන්න ඉසව්වකට ඇවිල්ලා ඉන්න මට මගේ යාළුවෝ තුන්දෙනා ලොකු ශක්තියක් වුණා. ඇවිත් ලොකු කාලයක් ගියේ නැහැ අපි හතරදෙනා හරියට සහෝදරියෝ වගේ ලොකු බැඳීමක් ඇතිවුණා. කාට ප්‍රශ්නයක් ආවත් අපි එක පවුලක් වගේ හරිම එකමුතුයි. අපි මුලින්ම හිටිය බෝඩිම අම්මෝ මහා සතර අපායක්. පුංචි කාමරේ අපි හතර දෙනෙක් හිටියා. හැරෙන්නවත් ඉඩ නැහැ. ඒ ඉන්නකොට අපි හතරදෙනා හොඳ යාළුවෝ වුණා. එතන ඉන්න ගමන් අපි බෝඩිමක් සෙව්වා. ඒත් රාජගිරියෙම තැනක්. එතන ඉඩකඩ නැති වුණත් ආරක්ෂාව අතින් නම් ගොඩක් හොඳයි.

ඔයා කිව්වට විශ්වාස කරාවි ද දන්නේ නැහැ. අපි හතරදෙනා මේ ඉන්නේ පස්වෙනි බෝඩිමේ. ඒ වගේමයි අපි හොඳ පාඩම් ඉගෙන ගත්තා. බෝඩිම්වල අපි විඳපු අත්දැකීම් නම් පොතක් වුණත් ලියන්න පුළුවන්. මොනවා වුණත් අපි මුලින්ම හිටපු ඉඩකඩ නැති පුංචි කාමර කෑල්ලේ ආරක්ෂාව ඉඳපු කොතැනකින්වත් ලැබුණේ නැහැ. කොහොමත් කොළඹට ආවම අපි ඉන්නේ අනුන්ගේ නවාතැන් පොළවල්වලනේ. අපි අපේ ආරක්ෂාව සපයගන්න ඕනෑ.

ඔව් ඔව් ඒක ඇත්ත.. දේවිකාගේ ටෝක්ස් ඇහුවම කොරවෙලාම යනවා. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීමේ හොඳ පළපුරුද්දක් අපේ දේවිකාට තියෙනවා. කොහෙදෝ ඉඳලා ආපු උදාරි අපේ කතාවේ මැද්දට පැන්නා. දේවිකාගේ සීරියස් කතාව අලකලංචියක් වුණානේ.

හිනාවෙන්න එපා බං. අපි හිනාවෙලා හිටියට බෝඩිං ජීවිතේ නම් නීරසයි, දුකයි. වෙලාවකට හරියට කන්න බොන්න නැහැ. සමහර වෙලාවට වතුර නැහැ. බෝඩිමේ දුක නම් කියලා වැඩක් නැහැ. කතාව ඇත්ත. ඒත් දුකම ගැන හිතන්න ගියොත් අපිට ජීවත් වෙන්න අමාරුයි. කොයි තරම් දුක් වින්දත් දුක නොපෙන්වා හිනාව පෙන්වන්නේ දුක පෙන්නුවොත්, අපි අසරණයි කියලා පෙන්නුවොත් මේ කොළඹ ජීවත් වෙන්න බැරි නිසා. කොළඹ කාක්කගේ ඉඳලාම හරිම වෙනස්. මේ මිනිස්සු හරිම කපටියි. අපි නිකම්ම අහුවෙනවා. ඒ විදිහට උදාරි අපේ කතාවට මුලපිරුවා.

බෝඩිම් ජීවිතේ නිසා ඇත්තටම සමහර වෙලාවට අපේ ජීවිතෙත් එපා වුණු අවස්ථා අනන්තයි. දේවි කිව්වා වගේ අපි මේ ඉන්නේ පස්වෙනි බෝඩිමේ. එක තැනක්වත් අපිට සෙට් වුණේ නැහැ. ඉඳලා ඉඳලා වැටුණ තැන ඉඳපු තැන් හතරටම වඩා අන්තයි. අපි අත්දැකීමෙන් කියන්නේ ඔය පත්තරවල වෙබ් සයිට්වල තියෙන බෝඩිංවලට යන්නේ හරිම පරිස්සමෙන්. හොඳට සොයලා බලලා තමන් අඳුරන යාළුවෙක් මාර්ගයෙන් බෝඩිමකට යනවා මිසක් වෙළඳ දැන්වීම්වල දාලා තියෙන බෝඩිම් ඇතුළේ තියෙන්නේ හරි අමුතු දේවල්.

අපිට සිද්ධ වුණු කථාවක් කියන්නම්. අපි මේ රාජගිරියේ බෝඩිමට එන්න කලින් ඉඳපු බෝඩිම අපි සොයා ගත්තේ පත්තරේ වෙළඳ දැන්වීමකින්. අපි හතරදෙනා එක්කම බලන්න ගිහින් එදාම අත්තිකාරම් මුදලක් දීලා ආවා. සති දෙක තුනකට පස්සේ බෝඩිමට ගියා. ඉඳපු තැන්වලට වඩා හොඳයි කියලා හිතුණා. සුපුරුදු විදිහට අපි රැකියාවට ගියා. ඒ ගෙදර ඇන්ටි අපිට කෑම දුන්නා. වෙනසක් දැනුනෙම නැහැ. ඇන්ටි අපට කියලා තිබුණේ මහත්තයා හොටෙල් එකක වැඩ කරනවා කියලා. අපි රෑ 10 වෙනකොට ලයිට් ඕෆ් කරන්න ඕනෑ. නැත්නම් කෑ ගහනවා.... සාමාන්‍ය බෝඩිමක තියෙන නීතිරීති මේ බෝඩිමෙත් තිබුණා. අපි ඉතින් ඒවට අවනත වෙලා හිටියා. ඒ තැන හොඳ තැනක් කියලා.

ඒ ඇන්ටිගේ මහත්තයා නිතර ගෙදර ආවේ නැහැ. ඒත් දවස් ගාණක් රෑ අපි වොෂ් රූම් යන්න කාමරෙන් එළියට ආපු අවස්ථා කිහිපයකම ගෙදර දොරවල් ඇරලා තියෙනවා දැක්කා. අපේ කාමරේට දොර යතුරු තිබුණා. ඒත් අපි බයවුණා. ටික දවසක් යද්දි අපට තේරුණා මෙතන වෙන මොකක් හරි සිද්ධවෙනවා කියලා. දවසක් අපි හතරදෙනා රෑ නිදාගෙන ඉන්නකොට 12.30 විතර අපේ කාමරේ දොරට ගැහුවා. අපි හතරදෙනාටම ඇහැරුණා. හතරදෙනෙක් හිටපු නිසා බය හිතුනෙත් නැහැ. අපි දොර ඇරියා. දොරට තට්ටු කරලා තියෙන්නේ පොලිසියෙන්. පොලිසියේ අය දැනගත්තා අපි බෝඞ් වෙලා හිටපු ළමයි කියලා.

ඒ ගෙදර ඇන්ටිව රෑට මිනිස්සුන්ට විකුණලා තියෙන්නේ එයාගේ මහත්තයමයි. පොලිසියේ අය හිතලා තියෙන්නේ අපිත් ඇන්ටිගේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා. අන්තිමට අපිටත් පොලිසියට කටඋත්තර දෙන්න වුණා. පස්සේ හොයලා බැලුවම අපිට කලින් ඉඳපු සමහර ළමයි ඇන්ටිගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන ලොකු ලොකු ප්‍රශ්න ඇතිවෙලා තියෙනවලු. අපිට කොහොමත් ඒ බෝඩිමට ගිය පළමු දවසෙම ඇන්ටි දාපු එකම නීතිය තමයි අහල පහල ගෙවල්වල අය එක්ක කථා කරන්න බැහැ කියලා. එහෙම කරලා තියෙන්නේ අපි ඒ ගෑනිගේ කපටි වැඩ දැනගනීවි කියලා.

පත්තරේ දැන්වීමයි, ඒ ගෙදර බෝඩිමයි, ඒ ඇන්ටිගේ හැසිරීමයි දැක්කම ඇත්තටම ඒ ගෙදර එහෙම පරිසරයක් කියලා හිතෙන්නේ නෑ. මිනිස්සු කාලා බලලා බෝඩිං හොයන්න බැහැ. ඒ වුණත් අපි වගේ නම් අමාරුවෙ වැටෙන්න එපා. විශේෂයෙන් පත්තරවල තියෙන දැන්වීම් බලලා බෝඩිංවලට යනවනම් හොඳට හොයලා බලලා යන්න. කොළඹ කියන්නේ මහා විෂ පිරුණ මඩ ගොහොරුවක්. අපිව දැකපු ගමන් මෙහේ කට්ට මිනිස්සුන්ට තේරෙනවා අපි ගමෙන් ආපු කෙල්ලෝ කියලා. මොකකින් හරි අල්ලගන්න තමයි මාන බලන්නේ.


දැන් ඉන්න බෝඩිම හොඳයි ද?
අනුපමා බෝඩිමේ තවත් සාමාජිකාවක්. ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සරහට පැන්නා. අම්මෝ මෙතන අපිට ඒ වගේ ප්‍රශ්න නම් නැහැ. ඒ වුණාට මේ ගෙදර අංකල් දවසක් අපේ ඕලු නානකොට බලා ඉඳලා. අද ඕලු නැහැ එයා වැඩ. ඕලු බෝඩිමට එන්නේ වැඩ ඇරිලා රෑ 8ට විතර. මේ ගෙදර නාන කාමරේ, වැසිකිළිය තියෙන්නේ එළියේ. ආපු අලුත අපි කවුරු නාන කාමරේට ගියත් තනියට කෙනෙක් එළියට වෙලා හිටියා. පස්සේ හුරු වුණාම තනියම ඒ වැඩ කරගෙන ආවා. නාන කාමරේ අහුරලා තියෙන්නේ ඉටිකොළවලින්. හැම අතින්ම පහසුකම් තියෙන සුපිරි තැන් මේ කොළඹ තියෙනවා. ඒත් අපි බෝඩිං සල්ලි ගෙවාගෙන ගෙදරටත් සල්ලි දෙන්න ඕනෑ. බෝඩිමකට ලොකු ගාණක් දුන්නොත් අනෙක් වැඩ කරගන්න බැහැ. අපි සැප සොයන්නේ නැතුව ඒකයි ආරක්ෂාව සොයන්නේ. ආරක්ෂාව තියෙනවනම් අපිට අගුපිලේ වුණත් නිදාගන්න පුළුවන්. ඒත් මේ කොළඹ ආරක්ෂිත තැනක් සොයාගන්නවා කියන්නේ කළුනික සොයනවා වගේ වැඩක්.

ඉතින් ඕලුගේ කතාව කියපංකෝ.... උදාරි අනුපමාගේ කතාවේ මැද්දට පැන්නා.
ඉතින් එදා ඕලු අංකල්ට හොඳටම බයවෙලා. අංකල් ඇන්ටි ඉස්සරහ ඉන්නේ නම් බෝපැලේ වගේ. ඒ වුණාට උගේ වල්කම නම් යන්නේ නැහැ. එදා ඕලු කෑගහගෙන ගේ ඇතුළට දිව්වා. බයවුණ පාරට ඕලු දවස් තුනක් උණ හැදිලා අසනීපත් වෙලා හිටියා. ඒක අපි දැනගත්තෙත් ඕලු ඒක දැකපු නිසා. අපිත් නාගෙන එනවා මිසක් වටේ බලා ඉන්නේ කවුද කියලා බලන්නේ නැහැනේ.... එදා ඉඳන් අපි ඉන්නේ හරිම බයෙන්. බෝඩිමේ ඇන්ටිට ගාණක් නැහැ. උන්ට ඕනැ මාසේ අන්තිමට සල්ලි විතරයි. මේවා ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් බය වෙනවා. අපි අපේ ආරක්ෂාව සපයගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑනේ.

බෝඩිමේ ගෑනි කෑම දෙන්නෙත් හරි ලෝබ කමෙන්. සමහර දවසට දෙන කෑම එක මදි. පොඞ්ඩයි දෙන්නේ. ඒ කෑම එක කාලා බඩ පිරෙන්නේ නැහැ. ඉතුරු බඩගින්නට තේ එකක් බීලා නිදාගන්නවා. සමහර දවසට බල්ලෙකුටවත් කටේ තියන්න බැහැ කෑම. ඒ වුණාට මාසෙ අන්තිමට ගාන රවුම් කරලා සල්ලි ටික නම් ඇන්ටි වෙලාවට ගන්නවා. ඇන්ටි දෙන කෑම එකට අමතරව අපි බිස්කට් එකක් ගෙනල්ලා තියාගන්නවා. දෙන කෑම එක මදි වුණාම බිස්කට් කනවා. පාන් දෙන දවසට එක්කෙනෙකුට දෙන්නේ පාන් පෙති දෙකයි. උදේම ඉතින් කලන්තේ වගේ. පාන් පෙති දෙකක් කාලා ජීවත්වෙන්න පුළුවන් ද? කොළඹ බෝඩිං ජීවිතේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපි හිඟන්නෝ වෙනකොට බෝඩිමේ ඇන්ටි පෝසත් වෙනවා.
අනුපමා නිහඬ වෙද්දිම උදාරි හඬ අවදි කළා.

මොනවා කරන්න ද ඉතින් අපට හම්බ වෙන්නෙම අමු අඹනේ.... ඉදිච්ච අඹ ගෙඩියක් නම් කන්න හම්බවෙන්නෙම නැහැ. කට්ටිය හිනා සාගරේ ගිලිලා. නෑ... නෑ... මම මේ කිව්වේ අංකල්ට හොට බිම ඇනිලත් නාකි විසේ. අපි දිහා බලන්නේ ඉතින් වයසක පොරක් තමයි. අපේ ඕලු එදා අංකල්ට බයවුණ දවසේ ඉඳලා වැඩිය නාන්නෙත් නැහැ. ඕලු අද නැහැ.. අවුලක් නෑ පත්තරේට ලියන්නකෝ... ඇත්තටම අපි මේ හිනාවෙන්නේ ජීවිතේ නොපෙනෙන, ඒත් දැනෙන ලොකු බයක් එක්ක. හිනාවෙනවා ඇරෙන්න ඇඬුවා කියලා අපිව සනසන්න මේ කොළඹ කවුරුත් නැහැනේ.... හැමෝටම කියන්නේ කොළඹ අවුරුදු ගාණක් හිටියත් මේ කපටි ජීවිත තේරුම් ගන්න හරිම අමාරුයි. කොළඹ හොඳයි, ලස්සනයි, සුන්දරයි. හැබැයි පරෙස්සමෙන්. ඕක තමයි බෝඩිං ජීවිතේ. කොතැන හිටියත් තමන්ගේ ආරක්ෂාවට පළමු තැන දෙන්න.

එහෙනම් අදට ගිහිල්ලා එන්නම්, ලබන සතියේ තවත් බෝඩිමකින් හමුවෙමු.
m
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment