මනාලයාට 67යි මනාලියට 29යි


විවාහය කෙනෙකුගේ පෞද්ගලික කාරණයක් වුවද ඇතැම් විවාහයන් ලෝකයාට කතා කිරීමට මාතෘකා සපයා දෙයි. දේශපාලනයට සම්බන්ධවූවෙකුගේ නම් ඒ කතාබහ ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්වේ. ඒ අනුව පසුගිය දිනවල ලෝකයේ අවධානය යොමුවූයේ බංග්ලාදේශයේ පාර්ලිමේන්තු අමාත්‍යවරයෙකුගේ
විවාහය වෙතයි.
වයස අවුරුදු 67ක් වූ මනාලයා එරට දුම්රිය අමාත්‍ය මුජිබුල් හක්ය. ඔහුගේ මනාලිය වූයේ ඔහුට වඩා අවුරුදු 38 ක් බාල 29 හැවිරිදි හොනුගා අක්තර් රීටාය. ඈ නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි.
පසුගිය ඔක්තෝබර් 29 වෙනිදා එරට විවාහ සම්ප්‍රදායට අනුව මියුරු ගායනා මධ්‍යයේ කහදියර තවරා සිදු කෙරෙන චාරිත්‍ර ඉටු කෙරුණි. නව යුවළගේ විවාහෝත්සවය පැවැත්වූයේ ඔක්තෝබර් 31 දා මනාලියගේ නිවසේදීය. මනාල පාර්ශ්වයේ පෙරහර මනාලියගේ නිවසට ළඟා වූයේ ප.ව. 3.00ට පමණය. මනාලියගේ පරිශ්‍රයට ඇතුළුවීමට එරට මුදල් වන ටකා 1,00,001ක් මනාලියගේ සොහොයුරියන්ට ගෙවීමට සිදුවී ඇත. මනාලිය වෙනුවෙන් ගෙවා ඇති මුළු දෑවැද්ද ටකා 5,00,001කි.
මනාල පාර්ශ්වය වෙනුවෙන් 700කට අධික පිරිසක් සහභාගි වූ මේ උත්සවයට එරට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා උසස් නිලදරුවන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත. බංග්ලාදේශ අගමැතිනිය වන ශික් හසීනාගේ ආශිර්වාදය තමන්ට ලැබුණු බවත් තමන් නියම වෙලාවේ විවාහ වූ බවත් මුජිබුල් හක් පවසා තිබුණි.
දැන් තමනට පක්ෂ නායකයන් ඇතුළු සෑම සමාජ මට්ටමකම පුද්ගලයන්ගේ ආශිර්වාදය හා උපකාර ලැබෙන බවත් වර්තමානය හා සසඳා බලන විට තමන් මීට වසර 25කට කලින් විවාහ වූයේ නම් ලැබෙන දේ ඉතා අල්ප බවත් ඔහු බංග්ලාදේශයේ ඩේලි කෙලර් පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.
මංගල්‍යය වෙනුවෙන් ඩකා චිතගොන් අධිවේගී  මාර්ගය පවා ඉතා අලංකාරවත් ලෙස සරසා තිබුණු බව වාර්තා වේ. සියල්ල ඉතා විචිත්‍රවත්ව උත්සවශ්‍රීයෙන් සිදුවී ඇති බවකි පෙනෙන්නේ. බංග්ලාදේශ රූපවාහිනිය ඔස්සේ විවාහයේ අවස්ථා විකාශය වූයේ විශේෂ ප්‍රවෘත්තියක්ලෙසිනි.
නව යුවළගේ වයස සම්බන්ධව ඇතැමෙකු කතා කරන බව පෙනේ. එහෙත් මනාලිය නොමේරූ අයෙකු හෝ නූගත් අයෙකු නොවේ. මේ සම්බන්ධ සටහන් තැබුණු සමාජ වබේ අඩවිවල එරට බොහෝ දෙනා ඔවුන්ට සුබ පතා තිබුණු අතර ඔවුන්ගේ මනාපය ගැන ප්‍රශ්න කිරීම  සිදු නොකළ යුත්තක් බව සඳහන් කර තිබුණි.
අවාමි ලීගයෙන් දේශපාලනයට පිවිස අමාත්‍යවරයෙකු බවට පත් මුජිබුල් හක් බංග්ලාදේශයේ ගොවියෙකුගේ පුතෙකි. දේශපාලන වැඩ කටයුතු නිසා විවාහයක් ගැන සිතීමට ඇමැතිවරයාට කාලයක් නොවූ බව ඔහුගේ ආධාරකරුවෙකු පවසයි. පක්ෂ නායකයෙකු කියා තිබුණේ විවාහ නොවී සිටිනවාට වඩා පමා වී හෝ විවාහය හොඳ බවයි.
නව යුවළ රැගත් මංගල රථය නිවසේ සිට පිටත්වූයේ ඉතා අසීරුවෙනි. ඒ ගම්වැසි විශාල පිරිසක් ඔවුන් දැක ගැනීමට රැස්කමින් සිටි බැවිනි. ඔවුන් ගොස් තිබුණේ ඩකාහි පිහිටි අමාත්‍ය නිල නිවාසයටයි. මනාලියගේ සොහොයුරන් දෙදෙනකුගේ  හෝටල් ඩුබායිහි හා මා‍ලේහි ඇත. සිය සොහොයුරියට කැමති තැනක මධුසමය ගත කිරීමට හැකියැයි ඔවුහු කීහ.
මංගල උත්සවයේ දී ගැට කපන්නන්ගෙන්ද අඩුවක් වී නැත. උත්සවය අවසන් වන විට අමුත්තන්ගේ ජංගම දුරකතන 50ක් පමණ අතුරුදන්ව ඇත. ඉන් එකක් මන්ත්‍රීවරයෙකුගේ දුරකථනයකි.
මංගල්‍යයේ මීළඟ අදියර හෙවත් මනාල පාර්ශ්වයේ පිළිගැනීමේ උත්සවය නොවැම්බර් 14 දා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ ශාලාවක පැවැත්වීමට නියමිතය.
බංග්ලාදේශයේ හිටපු ජනපති හුසේන් මොහොමඩ් ඉර්ෂාඩ් වයස 71 දී තිස් හැවිරිදි කාන්තාවක සමග ද හිටපු විදේශ ඇමැතිවරයෙකු වූ අබ්දුස් සමාද් අසාද් අවුරුදු 70 පසුකරද්දී අවුරුදු 35ක කාන්තාවක සමග ද විවාහ වී ඇත. වෙනසකට ඇත්තේ ඔවුන්ගේ පෙර භාර්යාවන් ඒ වන විට මිය ගොස් තිබිමයි. එහෙත් මේ මුජිබුල් හක්ගේ පළමු විවාහයයි.
දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා තෙවන වරට විවාහ වූයේ වයස අවුරුදු 80 දීය. බටහිර රටක කිසිවෙකු මෙවන් දේ ගැන විශේෂ කතාබහක නියැලෙන බවක් නොපෙනේ. ඉන්දියාවේ මෙන් බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණ සිදු නොවන බැවින් මේ විවාහය ගැන කතා නොකරන්නැයි එක් අයෙකු පිළිතුරු දී තිබුණේ ඉන්දියානුවෙකුටය.  විවාහයක් වැනි පෞද්ගලික කරුණකදී කැමරා අටවමින් දිවයෑම අශෝභන පැපරාසි සංස්කෘතියකැයි ජනමාධ්‍යවලට දෙස් තැබූවන් ද සිටියහ.
වයසේ අග්ගිස්සට ගියත් තනිනොතනියට හෝ කෙනෙකු සිටීම වාසනාවක් නොවේද? අවුරුදු 87ක පමණ යුග දිවියක් ගෙවා ගිනස් වාර්තාවක් තැබූ වයස අවුරුදු 105ක් ජීවත්ව සිටි උතුරු කැරොලිනා ප්‍රදේශයේ ෆිෂර් යුවළ පවසා තිබුණේ ජීවිතයට හොඳ යහළුවෙකු සිටීමේ අගයයි. අනෙක් අතට ශරීරවලට වයසක් තිබුණත් හැඟීම්වලට එවැන්නක් නැති බව තවත් කාරණයකි.
කෙසේ වුවද අභිනව යුවතිපතීන්ට සුබ මංගල්‍යයක් වේවායි අපිත් සුබ පතමු.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment