
* ඉතින් නෙහාරා නව වසරේ මොනවද ඉටු කරගන්න තියෙන බලාපොරොත්තු? එකක් දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඒ අතර මවක් වීමේ අපේක්ෂාවත්
ඇති? මවක් වෙන්න ආසයි. මං හිතන්නේ වෙලාවට ඒ කටයුතු සිද්ධ වේවි. ලොව උත්තරීතර මව් පදවිය කවදා හෝ මමත් ලැබිය යුතුමයි. නමුත් මං හිතලා පමා කරගෙන නැහැ මවක් වෙන්න.
* ඔබ මේනකගේ වාසගම එකතු කරගෙන නේද දැන් නම පාවිච්චි කරන්නේ?
ඔව්. නෙහාරා පීරිස් රාජපක්ෂ. ඒක තමයි මගේ අලුත් නම.
* ඔබ දෙපළ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට හිටියා?
අපි ඒ අදහස අතහැර ගත්තා.
* අයි ඒ?
නාට්‍යයක් හදලා ඒක ටෙලිකාස්ට් කර ගන්න විදිහක් නැතිවේවි කියලා බයයි.
* රූපවාහිනී චැනල්වල ඉන්නේ ඔයාලගේ මිත්‍රයෝනේ. ඒ හිතවත්කම් මත ටෙලි නාට්‍යයක් දාගන්න බැරිවෙන එකක් නැහැ?
අපි දෙන්නා හරිම අකැමැතියි ඒ සිස්ටම් එකට. මේක වෘත්තියක්. ඒ හින්දා ප්‍රොෆෙෂනල් රිදම් එකක් තියෙන්න ඕනෑ නාට්‍යයක් විකාශය කරන්න. අන්න ඒ තත්ත්වය උදාවුණ දවසට මමයි මේනකයි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරනවා.
* ඇතැම් අය කියනවා මේනක නෙහාරා යුගය දැන් ඉවරයි කියලා?
එහෙම වෙන්නේ කොහොමද මේනක නෙහාරා යුගය දැන් තමයි පටන් ගෙන තියෙන්නේ. මොකද අපි දෙන්නා දැන් එකටනෙ ජීවත් වන්නේ.
* මං හිතන්නේ මම අහපු එක ඔබට තේරුණේ නැහැ. ටෙලිවිෂනයේ ඔබ දෙපොළ ඉස්සර තරම් නැති එක ගැනයි ඔවුන් කියන්නේ?
ඉස්සර තරම් අප දෙදෙනාට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඇත්ත කියන්න එපායැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා.
* මේනක නෙහාරාව දැකලා දැකලා ප්‍රේක්ෂකයන්ට එපා වෙලා කියලා හිතනවා ඇති අපේ නිර්මාණකරුවන්?
සමහර විට ඒක වෙන්න ඇති හේතුව?
* ඔබ දෙපොළ රඟපෑව නිර්මාණ තියෙනවාද ඉදිරියේදී විකාශය වෙන්න?
තියෙනවා, තියෙනවා. ඒ නිහාල් ප්‍රනාන්දු මහත්මයාගේ කුලැත්තියෝ. ඒක එක්දහස් අටසිය ගණන්වල කතාවක්. හරිම ආසාවෙන් අපි දෙන්නා එහි රඟපෑවේ. ඒ වගේම රවීන්ද්‍ර විජේරත්නගේ අලුත් නාට්‍යයටත් ආරාධනා ලැබිලා තියෙනවා.
* විවාහයෙන් අනතුරුව ඔබේ නම ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවෙන් පහළටම වැටුණා. ඇයි එහෙම වුණේ?
ඔබ කිව්වා වගේ එහෙම වුණා. පසුගියදා නිමා වූ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ මම හිටියේ නැහැ. නමුත් මේ අවුරුද්දේ පීපල්ස් අවෝඩ්හි මම තාරුණ්‍ය නියෝජනය කරන ජනප්‍රියම නිළියට හිමි සම්මානය ගත්තා. ඒ සම්මාන උළෙලේ ජනප්‍රියත්වය තෝරන්නේ එස් එම් එස් හෝ කූපන් මඟින් නෙවෙයි. ජනතාවගේ කැමැත්ත අනුව. එතනට යනකම්ම අපි දන්නේ නැහැ අපට සම්මානයක් තියෙනවා කියලා.
* සම්මානවලින් ජනප්‍රියත්වය මනින්න බැහැ කියලද නෙහාරා කියන්නේ?
ඔව්. සම්මානවලින් ජනප්‍රියත්වය මනින එක බොරු වැඩක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. මං ක්ෂේත්‍රයට ඇවිත් දැන් ටික කාලයක් වෙනවා. ඒ කාලයේදී මං කළ නිර්මාණත් එක්ක මිනිස්සු මාව නමින් හඳුනා ගත්තා. එහෙම වෙන්නේ හරිම කලාතුරකින්. සමහර ජනප්‍රිය නිළියන්ගේ මුහුණුවල් විතරනේ මිනිස්සු දන්නේ. නමුත් මාව නමින්ම දන්නවා. ඒ අනුව බලනකොට සම්මාන කියන්නේ ජනප්‍රියත්වය මනින සාධකයක් නෙවෙයි. නිර්මාණයි වැදගත්.
* මොන ප්‍රශ්න ආවත් නෙහාරාගේ මුහුණේ තියෙන සිරියාවන්ත හිනාව කිසිම වෙලාවක මැකී ගියේ නැහැ. කොහොමද එහෙම වුණේ?
මගේ මේ හිනාව දේව වරමකින් මට ලැබිච්ච දෙයක්. මං ඒ වෙනුවෙන් හැමදාම දෙවියන්ට තුති පුදනවා. හැමෝටම මෙහෙම වෙන්න බැහැ. මොන දේ වුණත් මට හිනාවෙලා ඉන්න ශක්තිය මට දුන්නේ දෙවියන් වහන්සේ.
* නව පරපුරේ නිළියන් තමන්ගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනිමට නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙනවා. සමහරු සණ්ඩු සරුවල් ඇති කර ගන්නවා. ඇතැම් අය බලෙන් කට කතා හදා ගන්නවා. නෙහාරාට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
මම නම් හිතන්නේ ඕක සාමාන්‍ය තත්ත්වයක්. බොලිවුඩ්වලත් එහෙමයි. තමන්ගේ ජනප්‍රියත්වය අඩු වුණා කියලා හිතුනාම එහෙ නළු නිළියෝ මොකක් හරි කතාවක් හදාගන්නවා. මෙහෙත් ඒ වගේමයි. එයාලට හොඳ නම් අපිට මොකෝ කියලා ඉන්න තියෙන්නේ.
* ඔබ දෙපොලටත් ඒ වගේම දේවල් සිදු වුණා. ඒවත් ඔබලා හදා ගත්තු ඒවද?
මෙහෙමයි. අපිට ගොසිප් හැදුණේ නොමිලයේ. අනන්තවත් කතා අපට නිර්මාණය වුණා. ඒවා කළේ වෙනත් අය. එහෙම බලන කොට අපිට නොමිලයේ තමයි පබ්ලිසිටි හැදුණේ.
* නිළියක් නොවුණා නම් හොඳයි කියලා නෙහාරාට හිතිලා නැතිද?
හිතිලා තියෙනවා. දස දහස් වාරයක් එහෙම හිතිලා තියෙනවා. නමුත් ආපසු හැරෙන්න බැහැනෙ.
* එදා නෙහාරා සහ අද නෙහාරා අතර ඇති වෙනස්කම් මොනවාද?
අද මං ටිකක් පරිණත වෙලා. දැන් මට අවුරුදු විසි හයයි. අවුරුදු තිහක කාන්තාවකට වඩා අත්දැකීම් ප්‍රමාණයක් මං විඳලා තියෙනවා. ඒ හින්දා දැන් බුද්ධිමත්ව හිතන්න පුළුවන්.
* කොහොමද මේනකත් සමඟ ගෙවන පවුල් ජීවිතේ?
ගොඩක් සතුටින් සැහැලුවෙන් ගෙවෙනවා. හරියට කිව්වොත් මේක තමයි මගේ ජීවිතයේ සුන්දර කාලේ. මේනක මට හරි ආදරෙයි. අපි දෙන්නම කතෝලික නිසා පුළුවන් හැම වෙලාවකම පල්ලි යනවා. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා ජිවිතේ ගෙනියන්න හරි පහසුයි.
* මේනක දැන් කනවා ඇත්තේ ඔබේ අතින් පිසින ආහාර වෙන්න ඇති?
බොහෝ විට එහෙමයි. මං හදලා දෙන ඕනෑම දෙයක් මේනක කනවා. කවදාවත් දොසක් කියන්නේ නැහැ.
* කොහොමද ඔබේ නිවේදන කටයුතු?
දෙරණ නාලිකාවේ මල්බර දෙරණ සහ ටී පාර්ටි වැඩසටහන් තමයි මං නිවේදන කටයුතු කරන්නේ. රංගනය පැත්තෙන් කොතරම් කාර්යබහුල වුණත් නිවේදනය අත හැරියේ නැහැ මං. මගේ රසික රසිකාවන් බෙහෙවින් කැමැතියි මා තුළ සිටින නිවේදිකාවට.
* ඇතැම් නළු නිළියෝ නිවේදනයෙහි යෙදෙනවා හරිම අසාර්ථකයි. ඇයි එහෙම වෙන්නේ?
ඒ අය කාගේ හෝ ඇරයුමකට තමයි නිවේදනයේ යෙදෙන්න එන්නේ. ආරාධනා කරන කට්ටිය දැනගන්න ඕනෑ හැකියාව තියෙන නළු නිළියෝ පමණක් නිවේදනයට ගන්න. අන්න එතනයි වැරැදිලා තියෙන්නේ.
සටහන – ප්‍රසාද් සමරතුංග

0 comments:
Post a Comment