
පිහිනීමට හැකි වන්නේ දියේ නොගිලී පාවෙමින් සිටීමට පුරුදු වූ අයෙකුට පමණි. මේ නිසා පිහිනීමට ඉගෙන ගන්නන් පළමුවෙන්ම දියේ නොගිලී සිටීමට, එනම් දිය මත පාවෙමින් සිටීමේ හැකියාව ප්‍රගුණ කිරීම අනිවාර්යයි. ගුරුත්වාකර්ෂණ බලය හා ජලයේ තෙරපුම් බලය නිසා දිය
මත පාවීමට හැක්කේ හරස් අතට සිටිමින් වුවද මේ කියන්නට යන අත්තම්මාට ඇති අපූරු හැකියාව වන්නේ සිටගෙන සිටින ඉරියව්වකින් දිය මත පා වීමට දක්වන දක්ෂතාවයි.
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ වෙසෙන පිහිනුම් ගුරුවරියක වන හැට හත් හැවිරිදි ලිබි ටකර් දියේ නොගිලී හිටගෙන පාවෙන්නට තමන්ට ඇති මෙම අපූරු හැකියාව නිසා තමාවම හඳුන්වා දෙන්නේ මිනිස් ඉපිල්ලක් ලෙසයි. පිහිනුම් ශූරයන් පවා පුදුමයට පත් කරන මෙම හැකියාව තමන්ට මතක ඇති කාලයක සිට තිබුණූ බව පවසන ලිබිට ඇති එකම අපූරු හැකියාව වන්නේ මෙය පමණක් නොවේ. ඇයට දියේ නොගිලී දිය යට හිඳිමින් සිය දෑත් හා දෙපා එකිනෙක හරස් කරගෙන සිටීමටද හැක. තමා සේවය කරන පිහිනුම් පාසලේ සිසු සිසුවියන්ව වසර ගණනාවක සිට සිය හැකියාවන්ගෙන් පුදුම කරවන ලිබි කියන්නේ තමාට මෙවැන්නක් කිරීමට හැකිව ඇත්තේත් අනෙක් අයට එබඳු හැකියාවක් නොමැත්තේ ඇයිද කියාත් තමා නොදන්නා බවයි. කෙසේ වුවද සිටගෙන දිය මත පාවීමට තමාට ඇති හැකියාව පිහිනුම් ගුරුවරියක ලෙස සිසුන්ට උපදෙස් දීමේදී ඉතා ප්‍රයෝජනවත් බව ලිබි අවධාරණය කරන්නීය.
පසුගිය වසරේදී ලිබි තම සැමියා සමග ඊජිප්තුවේ නිරත වූ සංචාරයේදී රතු මුහුදේද සිටගෙන පාවෙමින් එහි සිටියවුන් පුදුමයට පත් කොට තිබිණි. වරෙක එහි වූ කොරල් පර නරඹමින් සිටියදී ලිබි සිටගෙන සිටිනවා දුටු සංරක්ෂණනිලධාරියෙකු ඇයට බැණ වැදී ඇත්තේ ඇය කොරල් පර මත සිටගෙන සිටින බවට ඇති කර ගත් වැරදි අවබෝධයක් නිසයි.
තමා සතු විස්මිත හැකියාව පිළිබඳව ලිබි පැවසූ දෙය විශ්වාසයට ගැනීමට පසුබට වූ මෙම නිලධාරියා එකෙණෙහිම දියට පැන කිමිදී සිය දෑසින්ම එම අසිරිමත් හැකියාව දැක බලා ගැනීමට පෙළඹී තිබිණි. 1977 දී ළමා සංගමයකට ආධාර එකතු කිරීම සඳහා පැවැති උත්සවයකදී පැය නවයක් මෙලෙස දියේ සිටගෙන පාවී නරඹන්නන් පුදුමයට පත් කිරීමට ලිබි සමත්ව තිබිණි.
0 comments:
Post a Comment