පිරිමින්ගෙන් සිදුවන අතවර වැළකීමට යකඩ ඇඳුමකින් සැරසී මහ මගට පිවිසි සුරූපී යුවතිය

Iron-Woman
පසුගිය අඟහරුවාදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ අමුතු ආකාරයක විරෝධතාවක් පැවැත්විණි. මෙම විරෝධතාවට සහභාගි වී සිටියේ කැපී පෙනෙන රූසපුවකින් යුතු එකම එක තරුණියක් පමණි. ඇය ලෝහයෙන් තැනූ ඉතා ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටි අතර මහා මාර්ගයේ යන එන්නවුන්ගෙන් පිරිසක් අවඥා
සහගත ලෙසත් පිරිසක් මහත් වූ විමතියකින් යුතුවත් ඇය දෙස බලන්නට වූහ. නමුත් ඒ පිළිබඳව කිසිදු චකිතයකින් තොරව ඇය ගමන් කළාය. ඇය මෙසේ ගමන් කළේ කාන්තාවන් පිළිබඳ නිහඬ ඛිෙදවාචකයක් ලොව හමුවේ අනාවරණය කරනු පිණිසය.
කාබුල් නගරයේ ජීවත් වන ඇය කුබ්‍රා කඩෙයිමි නම් වූ විසි පස් වියැති තරුණියකි. කලාකාරිනියක වන ඇය තමන් අවස්ථා දෙකකදී මහා මාර්ගයේදී විවිධාකාරී හිංසනවලට ලක්වූ බව පවසන්නීය. මේ පිළිබඳව දැඩි කලකිරීමකින් සිටි කුබ්‍රා, මහා මාර්ගයේදී කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව මහත් උනන්දුවක් දක්වන්නියකි. ඇය ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් ආයතන සමග ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි. නමුත් ඒවායින් කිසිදු සාධාරණයක් ඉටු නොවූ තැන නිහඬ විරෝධතාවක නියැළෙන්නට කුබ්‍රා තීරණය කර තිබිණි. ඒ අනුව සිරුරේ ඉදිරිපසින් පපු ප්‍රදේශයේ දක්වාත් පසුපසින් තට්ටම් ප්‍රදේශයත් ආවරණය වන පරිදි ඇය ලෝහයෙන් ඇඳුමක් නිර්මාණය කර ගත්තාය. ඒ පිරිමින්ගේ අවධානයට ලක්වන තැන් ලෝහයෙන් ආවරණය කරගනිමිනි. පසුගිය දා ඇය කාබුල් නගරය පුරා ගමන් කළේ එම ඇඳුමින් සැරසීගෙනය.
Iron-Woman1යම් පිරිමියෙකු මෙම ඇඳුමින් සැරසුණු තරුණියකගේ පියයුරු, ඉන පෙදෙස හෝ පසුපස ප්‍රදේශය ස්පර්ශ කරන්නට උත්සාහ කළ විට ස්පර්ශ වන්නේ ලෝහ ඇඳුමයි. කුබ්‍රා පවසන්නේ මෙවැනි ඇඳුමක් නොඇඳ වර්තමානයේ කාන්තාවකට මහා මාර්ගයේ ගමන් කිරීම ඉතාම අපහසු බවය. බටහිර රටවල කෙසේ වුවද දැඩිව ආගමික නීති රැකවල් තුළ ජීවත් වන ඇෆ්ගනිස්ථානයේ පවා කාන්තාවන් ස්පර්ශ කිරීමෙන් හෝ සතුටක් ලබා ගත හැකි පිරිමින් සිටීම ගැන තමන් තුළ ඇත්තේ අතිශය පිළිකුලක් බව ඇය මාධ්‍යයට පවසා තිබිණි.
ඇෆ්ගනිස්ථානය යනු ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන රටකි. කාබුල් යනු එහි අගනුවරයි. සංගණනවලට අනුව කාබුල් නගරයේ සියයට සියයක්ම ජීවත් වන්නේ ඉස්ලාම් භක්තිකයන්ය. ඔවුන්ට ඉස්ලාම් ආගමික නීතියට අනුව කාන්තාවන් සිව් දෙනකු එකම කාලයේ විවාහ කර ගත හැකිය. නමුත් එය ද ‍ලේසි පහසු කාරියක් නොවේ. එසේ විවාහ කර ගන්නා කාන්තාවන් හතර දෙනටම එක සමාන ලෙස 
සලකන්නට පිරිමියාට හැකි විය යුතුය. යම් භාර්යාවක තමන්ට අනිත් භාර්යාවන්ට වඩා අඩු සැලකුම් ලැබෙන බවට පැමිණිලි කළහොත් ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීම ආගමික නායකයෙකු හෝ නීතිඥයකු වෙත පැවරේ. එහිදී භාර්යාව නිවැරදි බවට ඔප්පු වුවහොත් ස්වාමියාගෙන් වන්දි ලබා ගැනීමට ඇයට අවස්ථාව ඇත. 
භාර්යාව වැරදි බවට ඔප්පු වුවහොත් නිවැරදි පුද්ගලයෙකුට චෝදනා කිරීමේ වරදකට ඇයට දඬුවම් විඳීමට සිදුවේ. මේ නිසාම බොහෝ විවාහක ඇෆ්ගන් කාන්තාවන් සිය සැමියාගෙන් කුමන ආකාරයේ අඩුපාඩුවක් සිදු වුවද එය ඉවසා දරාගෙන සිටින්නට උත්සාහ කරති. මන්දයත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් තමන්ට සිදු වන අවමානය සහ අපහාසය මීට වඩා වැඩිවන බැවිනි.
Iron-Woman2තත්ත්වය එසේ තිබියදී ඇෆ්ගන් පිරිමින්ගෙන් මගතොට ගමන් කරන කාන්තාවන්ට සිදුවන අතවරයන් ගැන පළමුවරටප්‍රසිද්ධියේ අදහස් ඉදිරිපත් කළේ කුබ්‍රා විසිනි. මේ නිසාම ඇයට සිය කලා කටයුතු නිසි ලෙස සිදුකරගන්නට පවා මේ වන විට නොහැකි තත්ත්වයකට පත් වී තිබේ. එයට හේතුව පිරිමින්ට එරෙහිව නැගී සිටීම නිසා විරෝධය දක්වන පිරිමින් ඇයට සිය රැකියාව නිසි ලෙස කරන්නට ඉඩ කඩ ලබා නොදීමය.
කුබ්‍රා පවසන පරිදි සාමාන්‍යයෙන් දිනකට කාබුල් නගරයේ පමණක් කාන්තාවන් සියයට හැටකට පමණ මහා මාර්ගයේදී අනවශ්‍ය ස්පර්ශ කිරීම් වැනි විවිධ හිංසනවලට ලක් වන්නට සිදු වේ. නමුත් ඉන් එක් කාන්තාවක්වත් තමන්ට සිදු වූ සාධාරණය නිහඬව දරා සිටිනු විනා ඒ පිළිබඳ පැමිණිලි කරන්නට ඉදිරිපත් නොවේ. එයට හේතුව ලෙස ඇය දක්වන්නේ ද ආගමේ නාමයෙන්ම මුස්ලිම් පිරිමින්ට වැඩි බලතල පවරා තිබිමය. 
එය කාන්තා හිංසන සඳහා ප්‍රබලව හේතු වී ඇති බව කුබ්‍රාගේ අදහසයි. මේ නිසා මුස්ලිම් කතුන් මානසික වශයෙන් ඇද වැටී ඇති බවත්, මෙවැනි හේතු නිසා වර්තමානයේ මුස්ලිම් යුවතියන් විවාහය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වී ඇති බවත් ඇගේ මතයයි. ඔවුන්ට දැන් ඒ තරමට පිරිමින්ට තිත්ත වෙලා. ඇය කියන්නීය. නමුත් මෙය ඇගේ අන්තගාමී මතයක් බවට පුරුෂ පක්ෂයේ බොහෝ දෙනෙක් කියති. 
කෙසේ වුවද කිනම් හෝ රටක පිරිමින්ගෙන් සිදුවන හිංසනවලින් වැළකීම සඳහා කාන්තාවන්ට ලෝහයෙන් තැනූ ඇඳුමක් ඇඳ සිටිය යුතු බවට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුවහොත් ඒ රටේ පිරිමින් පිළිබඳ කුමන ආකාරයේ හැඟීමක් ගෙන දේ ද යන්න සිතා ගැනීමට පවා නොහැකි වනු ඇත.
දුංජලී මුතුවාඩිගේ
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment