සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම්


පාසල් යන වයසේ ගැහැණු දරුවන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම පිළිබඳව චෝදනා ලැබු ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ
ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.
මීට සතියකට පමණ පෙර මෙම ගුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු ලැබුණ බව පැවසූ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙලෙස වැඩ තහනම් කළ බව ද ඒ මහතා කීය.
මේ පිළිබඳව පොලීසි‍ය වෙනම විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය සම්බන්ධයෙන් ක‍්‍රියාකරන බව ඒ මහතා පැවසීය.
මෙම ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ද පත්ව දින කිහිපයක් රිමාන්ඞ් බාරයේ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති බව ද කියැවේ. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩිදුර විමර්ශනයක් පවත්වන බව ද කීවේ ය.
ගුරුවරුන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා මව්පියන් තම දරුවන් පාසල් එවන විට ඒ විශ්වාසය කඩකරමින් දරුවන්ගේ ආරක්‍ෂාව අනතුරේ දමා මෙවැනි අපරාධ කරන කිසිවකුට කිසිදු සමාවක් දිය නොහැකි බව ද ලේකම්වරයා කීවේ ය.
දරුවන්ට වඩාත් සමීපව, ආදරයෙන්, දරුවන්ගේ හිත් දිනාගෙන උගන්වන ගුරුවරයකුට වුවද මෙවැනි අසත්‍ය චෝදනා පවා එල්ලවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ තීරණ ගනු ලබන්නේ මූලික විමර්ශනයකින් පසුව බව ද ඒ මහතා කීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment