ගින්දරීට එරෙහිව ස්පන්දන නඩු මගට



උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන “ගින්දරී”, අප්‍රේල් 24 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී දැකගත හැකි බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ඇරඹුණේ මීට සති කිහිපයකට පෙරය. එහෙත්,
ප්‍රදර්ශනය ඇරඹෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ගින්දරී ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලැබිණ. ඒ, සී.ඊ.එල්. සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල එතෙක් ප්‍රදර්ශනය වෙමින් තිබූ “ස්පන්දන” චිත්‍රපටය තවදුරටත් ප්‍රදර්ශනය සඳහා ඉඩ ලබා දෙන මෙන් එහි අධ්‍යක්ෂවරයා සහනිෂ්පාදකවරයා අධිකරණය හමුවේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසය. ස්පන්දන සඳහා වැඩි කාලයක් ඉලලීමට හේතුව කුමක්ද? අධිකරණ නියෝගයෙන් පසු ගින්දරීට සිදුවුණේ කුමක්ද? මේ ස්පන්දන අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සහ ගින්දරී අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය ඒ ගැන දක්වන අදහස්ය.
අපට ලොකු අසාධාරණයක් කළා
ස්පන්දන චිත්‍රපටයේ අධ්‍යක්ෂක - සුනෙත් මාලිංග ලොකුහේවා
ස්පන්දන සිනමාහල්වලින් ඉවත් කළාද? එහෙමත් නැතිනම් තවමත් ප්‍රදර්ශනය වෙනවාද?
ස්පන්දන සිනමාහල්වලින් ඉවත්කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. හැබැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ ඒ අත්තනෝමතික තීරණයට එරෙහිව අපි උසාවි නියෝගයක් ලබාගත්තා. ඒ නිසා සී.ඊ.එල්. සහ රිද්මා මණ්ඩලයේ ප්‍රධාන සිනමාහල්වලදී ස්පන්දන තවමත් තිරගත වෙනවා.
ඇයි “ස්පන්දන” සිනමාහල්වලින් ඉවත් කරන්න තීරණය කරලා තිබුණේ ?
අප්‍රේල් 24 වැනිදා සිට උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ගින්දරී චිත්‍රපටය තිරගත කරන්න ඉඩ දෙන්නයි ඒ වගේ තීරණයක් අරගෙන තිබුණේ.
ගින්දරීට ඉඩකඩ ලබාදුන්නේ ස්පන්දන චිත්‍රපටය පාඩු ලබපු නිසාද?
නැහැ. මගේ චිත්‍රපටය පාඩු ලබන නිසා සිනමාහල්වලින් ඉවත් කරන්න සූදානම් වුණා කියනවා නම් ඒක බොරු කතාවක්. මොකද, ස්පන්දන ලබපු ආදායම සතියෙන් සතිය ඉහළ ගිය බව මට ඔප්පු කරන්න පුළුවන්. 
කොහොමද ඔප්පු කරන්නේ ?
සී.ඊ.එල්. රිද්මා ඒකාබද්ධ මණ්ඩලයේ සිනමාහල්වලදීයි මාර්තු මාසේ 18 වැනිදා ස්පන්දන ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ. ස්පන්දන චිත්‍රපටය සම්බන්ධයෙන් අපේ ගිවිසුම තියෙන්නේ සී.ඊ.එල්. මණ්ඩලය සමගයි. ඒ නිසා සී.ඊ.එල්. මණ්ඩලයෙන් චිත්‍රපටය තිරගත වන සෑම දවසකටම පසුවදා දහවල් වන විට අපට සංඛ්‍යා ‍ලේඛන එවනවා කලින් දවසේ කොපමණ ආදායමක් ලැබුවාද කියලා.
ස්පන්දන සිනමාහල්වලින් ඉවත් කරනවා කියන තීරණය දැන ගත්තාට පස්සේ මොකක්ද ඔබ කළේ ?
රිද්මා මණ්ඩලයයි ගින්දරී චිත්‍රපටය 24 වැනිදා සිට ප්‍රදර්ශනය කරන්න සැලසුම් කරලා තිබුණේ. රිද්මා මණ්ඩලය ජාතික චිත්‍රපට සංස්ථාව යටතෙයි පවතින්නේ. ඒ නිසා මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා මුණගැහිලා ස්පන්දන චිත්‍රපටයට තවත් සති දෙකක කාලයක්වත් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. 
spandanaමොකක්ද සභාපතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ?
සභාපතිතුමාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ගින්දරීට දින දීලයි තියෙන්නේ කිව්වා. වුවමනානම් ස්පන්දන චිත්‍රපටයට දෙවැනි වටයේදී හොඳ සිනමාහල් දෙන්නම් කිව්වා. ස්පන්දන ප්‍රදර්ශනය කළේ ගැප් එකකට නිසා කාලය දීර්ඝ කරන්න බෑ කිව්වා.
හැබැයි ඔබට අධිකරණයට නොයා සී.ඊ.එල්. මණ්ඩලයේ ඉතිරි සිනමාහල්වල ස්පන්දන ප්‍රදර්ශනය කරන්න තිබුණා. ඇයි එහෙම නොකළේ. 
මගේ විශ්වාසයේ හැටියට ගින්දරී තමයි මෙ අවුරුද්දේ සී.ඊ.එල්. රිද්මා මණ්ඩලයේ ප්‍රදර්ශනය වෙන සාර්ථකම චිත්‍රපටය. ස්පන්දන චිත්‍රපටයට සමගාමීව ගින්දරී ප්‍රදර්ශනය කළානම් ගින්දරී වඩා වැඩිපුර ප්‍රේක්ෂකයන් රොක් වෙනවා. එතකොට ස්පන්දන චිත්‍රපටයේ ආදායම කොහොමත් අඩුවෙනවා.
ඒ කියන්නේ ඔබේ චිත්‍රපටයට ගින්දරී එක්ක තරග කරන්න බැහැ?
චිත්‍රපටය දවසෙන් දවස ඉහළ ආදායමක් වාර්තා කරද්දී සිනමාහල්වලින් ඉවත් කරන එක මොන තරම් අසාධාරණයක්ද? සමහර කාර්යාලවල ඉන්න නිලධාරීන්ට නිෂ්පාදකවරුන්ගේ මුද‍ලේ වටිනාකමවත් අධ්‍යක්ෂවරු සහ කණ්ඩායම චිත්‍රපටයක් රූගත කරන්න වෙන මහන්සියේ අගය ගැනවත් වැටහීමක් නැහැ. රිද්මා මණ්ඩලය තියෙන්නේ චිත්‍රපට සංස්ථාව යටතේ බව ඇත්ත. හැබැයි චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා පත්කරලා තියෙන්නේ ලංකාවේ සිනමාව ගැන බලන්න මිස රිද්මා මණ්ඩලය ගැන විතරක් සොයා බලන්න ‍නෙවෙයිනේ.
----------------------------------------------------
අසාධාරණය වුණේ අපිටයි
ගින්දරී චිත්‍රපටයේ අධ්‍යක්ෂක - උදයකාන්ත වර්ණසූරිය
අප්‍රේල් 24 වැනිදා සිනමාහල්වලට එන්න හිටපු ගින්දරීට මොකද වුණේ ?
ගින්දරීට මුකුත්වෙලා නැහැ. අප්‍රේල් 24 වැනිදා ගින්දරී මංගල දර්ශනය පැවැත්වුණා. දැනට සී.ඊ.එල්. සහ රිද්මා මණ්ඩලයේ සිනමාශාලා 30ක පමණ ගින්දරී ප්‍රදර්ශනය වෙනවා.
ඒ කියන්නේ ප්‍රදර්ශනය අත්හිටුවන්න කියලා ලැබුණු උසාවි නියෝගයෙන් පස්සෙත් ගින්දරී තවමත් ප්‍රදර්ශනය වෙනවා ?
ඒ නියෝගය නිසා සිනමාහල් හතක අටක විතර තමයි ගින්දරී තවමත් ප්‍රදර්ශනය කරන්න බැරිවෙලා තියෙන්නේ.
ඒ නියෝගයෙන් ගින්දරීට හානියක් වුණේ නෑ කියලා ද ඔබ කියන්නේ ? 
පාඩුවක් වුණේ නැහැ කියන්න බැහැ. රීගල් සිනමාහල වගේ ආදායම් වාර්තා තබන ඒ සිනමාහල් තමයි ගින්දරීට අහිමි වුණේ. ඒක විශාල පාඩුවක්.
ස්පන්දන චිත්‍රපටය වෙනුවෙන් ඉල්ලපු කාලය ලබා දුන්නා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේද?
මේ කාරණේ ගැන මුලින් දැනුම් දුන්නා නම් මීට වඩා හොඳ පියවරක් ගන්න තිබුණා. ගින්දරී චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන්න ප්‍රචාරක කටයුතුත් සියල්ලත් ආරම්භ කළාට පස්සෙයි ස්පන්දන චිත්‍රපටයට තව දින වුවමනායි කියලා දැනුම් දුන්නේ. 
ගින්දරී ප්‍රදර්ශනය කිරීම ප්‍රමාද කරන්න ඔබ මුලින් එකඟවුණා කියන්නේ ඇත්තද?
ගින්දරී අප්‍රේල් 24 වැනිදා ආරම්භ කරන්න දින තීරණය කරලයි තිබුණේ. ඒ බව ස්පන්දන නිර්මාණය කරපු අයත් දැනගෙන හිටියා. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමනිෂ්පාදක සහ සී.ඊ.එල්. මණ්ඩලයේ එකඟතාවය මත සිදුවෙන දෙයක් නිසා ඒකට මට බල කරන්න බෑ කියලයි මම දැනුම් දුන්නේ.
හැබැයි ස්පන්දන චිත්‍රපටයේ ආදායම ඉහළ යද්දී සිනමාශාලාවලින් ඉවත් කරන්න සූදානම් වීම වැරදියි නේද?
මම දන්නා විදියට නම් ස්පන්දන චිත්‍රපටයෙන් ලැබෙන ආදායම අඩු නිසා සිනමා ශාලා නඩත්තු කරන්න අපහසු තත්ත්වයක් ඇතිවුණු නිසයි ඒ චිත්‍රපටය සිනමාශාලාවලින් ඉවත් කරන්න තීරණය කළේ.
ගින්දරීට සිදු වෙලා තියෙන පාඩුව විඳ දරාගන්නේ කොහොමද?
උසාවියෙන් ලැබුණේ ඒකපාර්ශ්වික තීන්දුවක්. මොකද, ප්‍රදර්ශන මණ්ඩලය පැත්තෙන් කරුණු දැක්වීමක් එහිදී සිදුවුණේ නැහැ. ඒ නිසා අපිත් මේ තීරණයට විරුද්ධව උසාවි ගිහිල්ලා සාධාරණය ඉෂ්ට කරගන්න බලා‍පොරොත්තු වෙනවා.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment