වෙසක් කාලයේ සිදුවූ අමතක නොවන අත්දැකීම් ගැන අපේ ජනප්‍රිය කට්ටිය කතා කරයි



රුවංගි රත්නායක

මීට අවුරුදු දෙකකට විතර කලින් වෙසක් සමයේදී තමයි ඒ සිද්ධිය වුණේ. අපි ගෙදර හැමෝම එදා “පඬුවස්නුවර ගියා. ඒ ගිහින් අපි ආයෙම පාර දිගේ ඇවිදගෙන එනවා. සෙනඟ පිරිලා පාර දෙපැත්තේ පුංචි පුංචි කඩ පේලියට තියෙනවා. ඔය වෙලාවේ එක පාරටම අර කඩේක හිටපු තරුණ පිරිමි ළමයෙක් වීදුරුවලින් හදපු ලස්සන හාට් එකක්  අරගෙන මගෙ ළඟට ඇවිත් මට ඒක දුන්නා. නාඳුනන පිරිමි ළමයෙක් ඒ වගේ දෙයක් කළාම ඕන ගෑනු ළමයෙක් අපහසුතාවයට පත්වෙනවානේ. “මට එපා” කියලා මම එතැනින් ගියා. ඒ ළමයා මගෙ පස්සෙන් ඇවිත් දිගින් දිගටම අර “හාට් එක දෙනවා.” මම එපා කිය කියා ඉදිරියට යනවා. ඒ වෙලාවේ කඩපේලිවල අය මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. අර පිරිමි ළමයට කේන්ති ගිහින් එකපාරටම මගෙ කකුල් දෙක ළඟ ඒක ‍පොළවේ ගැහුවා. ඒ ළමයා ඒ විදියට මට හදවතක් දීලා තියෙන්නේ වැරදි අදහසකින් නමෛයි. එයා මගෙ රසිකයෙක්. මාව දැක්කම “අර රුවංගි නේද මම එයාට මේක දෙනවා” කියලා ඒ ළමයා කියල තියෙනවා” උඹ ඕක දුන්නට එයා ගන්නෑ. ඔට්ටුයි කියලා එතැන හිටපු අනිත් පිරිමි ළමයි කියලා තියෙනවා. ඒ ඔට්ටුව හින්දයි ඒ ළමයා මගෙ ළඟට ඇවිත් තියෙන්නේ. සිද්ධිය සම්පූර්ණයෙන් දැකපු අක්කා මට ඒක කිවුවම මට ලොකු කනගාටුවක්  ඇතිවුණා. ඇත්තමයි මට ඒක මතක්වෙද්දිත් දුකයි.

වෙසක් කූඩු හදලා ගුරුවරුන්ගෙන් දඬුවම් විඳින්නත් වුණා

ශානිකා මධුමාලි

මේ සිද්ධිය වුණේ මම ඉස්කෝලෙ හය වසරේ ඉගෙන ගන්නා කාලයේදී. ඒක වෙසක් කාලයක්. පාස‍ලේ වෙසක් කූඩු හදනවා. අපේ පන්තියෙනුත් වෙසක් කූඩු හදනවා. ළමයි එකතුවෙලා මේ කටයුත්ත කරනවා. ඉතින් මමත් මේ කටයුත්තට දායක වුණා. අපේ පන්තියේ එක පිරිමි ළමයෙක් තනියම වෙසක් කූඩුව හදනවා. අනිත් අයට ඒකට සහභාගි වෙන්න දෙන්නෙ නැහැ. මම ඒ ළමයා ළඟට ගිහින් වෙසක් කූඩුව හදන්න ඉල්ලුවා. එයා මම කීව දේ ඇහුනේ නෑ වගේ තනියම ඒ වැඩේ කරනවා. මට හොඳටම කේන්ති ගියා මම එතැන තිබුණ උණපතුරක් අරගෙන කන තුවාල වෙලා ‍ලේ එන්න ගැහුවා. මගෙ අම්මවත් පාසලට ගෙන්නුවා. දඬුවම් ලැබුණා. කොහොම හරි ඒ වෙසක් එකට වෙසක් කූඩු හදන්න ගිහින් මට ගුරුවරුන්ගෙන් දඬුවම් විඳින්නත් වුණා.

මේක සිද්ධ වුණේ ගල් වන්දනාවේ යද්දි

මිහිර සිරිතිලක


මගේ ගම අඟුනකොලපැලැස්ස. වෙසක් කාලෙට ගල් වන්දනාවේ යන එක ඉස්සර අපේ ගමේ සිරිතක්. ගල් වන්දනාව කියන්නේ නයිගල,කසාගල,මුල්කිරිගල, වැවුරුකන්නල පිහිටි විහාරස්ථාන කරා යන එක. මේ සියලුම තැන් පිහිටලා තියෙන්නේ ගල් උඩ හින්දයි ඒකට “ගල් වන්දනාව” කියන්නේ ලෑන් මාස්ටර්වල තමයි මේ ගමන යන්නේ. ඔන්න ඔය විදියට එක වෙසක් සමයක “ගල් වන්දනාවේ” යද්දි තමයි මේ සිද්ධිය වුණේ.
එදා අපි ගියේ න.ඬ. 80 ලෑන් මාස්ටරයක. මගෙ හිතවතෙක් ඬ 75 ලෑන් මාස්ටරයක ගියා. අපේ ලෑන් මාස්ටරය අලුත් හින්දා කන්ද නගිද්දී අපි බොහොම ඉක්මනට කන්ද නගිනවා. ඊට පස්සේ අනිත් ලෑන් මාස්ටරය හිමින් හිමින් ඉහළට එනතුරු කන්ද මුදුනට වෙලා ඉන්නවා. පල්ලම බහිද්දී ඒ වේගෙන් ඉබේම වාගේ පහළට යනවා. අපි හිමින් හිමින් පහළට පදවාගෙන යනවා. ඔය විදියට දැන් ඔන්න අපි යනවා. කන්දක් නැගලා ඊට පස්සේ අපි පහළට යන්න සැරසුණා. ඒත් එක්කම ටයර් එකක් වේගයෙන් පහළට ඇදිලා යනවා. මේ කන්දේ කවුද ටයර් පදින්නේ කියල අපි බැලුවා. බලනකොට අපේ හිතවතාගෙන් ලෑන් මාස්ටරය කඳු මුදුනෙන් නතර වෙලා ඒකේ ටයර් එක ගැලවිලා පහළට යනවා.

එදා නම් මම හොඳටම අඬපු දවසක්

පබෝදා සංදීපනි


වෙසක් කාලෙට පවුල් පිටින්ම අපි වෙසක් බලන්න යනවා. මේ ගමන යන්නේ රෑට. මේ යන වෙලාවට අනිවාර්යයෙන්ම ගෝල්ෆේස් යනවාමයි. ඒ විදියට ගෝල්ෆේස් ගිය වෙලාවක ‘තමයි මේ කියන සිදුවීම වුණේ.
එතකොට මට වයස අවුරුදු 8ක් විතර ඇති. දැන් ඔන්න අපි කට්ටිය ගෝල්ෆේස් එකේ ඇවිදගෙන යනවා. මම අම්මාගේ (ගීතා කාන්ති ජයකොඩිගේ) අතේ එල්ලිලා යනවා. පළාතෙම සෙනඟ පිරිලා. මම වටපිට බලමින් යන අතරෙදි අම්මගෙ අත අතහැරුනා. මම ඔහේ ඇවිදගෙන යනවා. එකපාරටම මට දැනුනා අම්මගෙ අත අල්ලගෙන හිටපු මට අම්මගෙ අත අතහැරිලා බව. මම වටපිට බැලුවා. අම්මයි අපේ පවු‍ලේ අනිත් අයයි කවුරුවත් නැහැ. වටාපිටාවේ ඉන්නේ අඳුනන්නේ නැති අය. එතැන හිටපු තරුණ යුවළක් මාවත් අතින් අල්ලගෙන සෙනඟ අතර ඇවිද ඇවිද අම්මලාව හෙව්වා. ඒ වෙලාවේ අම්මයි අනිත් අයයි හොඳටම බයවෙලා මාව හොයනවා. කොහොම හරි අපි මුණගැහුනට පස්සේ තමයි මගෙ හිතේ බය නැති වුණේ. හැබැයි ඉතින් එදා නම් මම හොඳටම අඬපු දවසක්.

අන්තිමට අපිට උදව් කළේ මිනීපෙට්ටි සාප්පු හිමිකරුවෙක්

චන්න පෙරේරා


මට පුංචි කාලෙ ඉඳන්ම නාට්‍ය පිස්සුව තිබුණා. අවුරුදු 10දි විතර අපේ බණ්ඩාරගම ගමේ යාළුවෝ එක්ක එකතුවෙලා වෙසක් නාට්‍යයක් කරන්න සැලසුම් කළා. පිටපත් රචනය හා අධ්‍යක්ෂණය මගේ. මමයි අනිත් යාළුවෝ ටිකයි තමයි රඟපාන්නේ. මගෙ අදහස කිවුව හැටියෙම යාළුවෝ ටික කැමති වුණා. දැන් ඉතින් ඔක්කොම හරි. අපිට තියෙන්නේ. වැඩේ පටන් ගන්න. නාට්‍යයක් කරද්දී පළමුවෙන්ම කරන්න ඕනෑ. නාට්‍ය පුහුණු කරන එකනේ. ඒත් අපි මුලින්ම කළේ ගම් පුරා ඇවිදලා සල්ලි එකතු කරන එක. ඊට පස්සේ කළේ වේදිකාව හදන එක. ඊට පස්සේ තමයි නාට්‍යය පුහුණුකරන්න පටන් ගත්තේ. එතකොට තමයි වැඩේ තියෙන අසීරුතාවය දැනුනේ. කට්ටියකට රඟපාන්න බැහැ. ඒ අතරේ රණ්ඩු වෙලා යන අයත් ඉන්නවා. දෙමාපිය විරෝධය හින්දා එක දවසක් ඇවිත් දෙවැනි දවසේ නෑවිත් ඉන්න අයත් මේ අතරෙ ඉන්නවා. කොහොම කොහොම හරි නියමිත දවස උදාවෙද්දි නාට්‍යයත් නැහැ. අපි දැන් හොඳටම අසරණ වෙලා. ඇයි ඉතින් සල්ලිත් එකතු කරලනෙ ඉන්නෙ. පස්සේ කරන්න දෙයක් නැති හින්දා අපි හිතුවා නාට්‍යය වෙනුවට තොරණක් පෙන්නන්න. වටාපිටාවේ කඩවලින් වෙසක් උත්සවයට අදාළ පින්තූර ගෙනැත් යාන්තමට තොරණක් හදාගත්තා. දැන් ඊළඟ ප්‍රශ්නේ විදුලිය. ඔය වෙලාවේ අපි අඳුනන මිනිපෙට්ටි සාප්පුවකට ගිහින් සිද්ධිය කිවුවා. ඒ මනුස්සයා අපිට බල්බ් වැල් දුන්නා. ඒ වැල් දාලා යාන්තං තොරනත්් හදාගත්තා. කොහොම හරි අන්තිමට අපිට උදව් කළේ මිනීපෙට්ටි සාප්පු හිමිකරුවෙක්.

ඒක මතක් වෙද්දිත් හිනා යනවා

ගිරිරාජ් කෞෂල්‍ය


මම පුංචි කාලෙ අපේ ගම් පළාතේ වෙසක් නාට්‍යයක් පෙන්නුවා. පළාතෙම සෙනඟ ඒක බලන්න එදා එතැනට එකතුවුණා. ඒ වෙද්දි මම අවුරුදු 6-7 ක විතර ළමයෙක්. මට එදා පෙන්නපු නාට්‍ය මතක නැහැ. හැබැයි එක රජකතාවක් කියලා නම් මතකයි. වේදිකාවක් හදලා ඒ වේදිකාවේ මයික් එල්ලලා තිබුණා. නළු නිළියෝ දෙබස් කියන්නේ මයික් එකට ළං වෙලා ඉතින් ඔන්න දැන් නාට්‍යය ගලාගෙන යනවා. දැන් උදාවෙලා තියෙන්නේ රජවරු දෙදෙනකු අතර සටනක්. රජවරු සටන් කරනවා. මිනිසුන් බොහොම උද්දාමයට පත්වෙලා ඉන්නවා. එක රජ කෙනෙක් අනෙක් රජතුමාගෙ බෙල්ලෙන් අල්ලලා කඩුව අමෝරාගෙන “එම්බල දුෂ්ටය මා තෝ මරා දමමි” කිවුවා. ඒ වෙලාවේ දෙන්නම ළං වෙලා හිටියේ මයික් එක ළඟට ඔය වෙලාවේ අනෙක් රජ්ජුරුවෝ සිහින් හඩින් මෙන්න මෙහෙම කිවුවා.
“යකෝ බෙල්ල.... බෙල්ල..... හිමිට අල්ලපං”
අනිත් රජ්ජුරුවන්ගේ රහස් හඬ මයික් එකෙන් පළාතටම ඇහෙද්දි මුළු පළාතම හු හඬකින් වැහිලා ගියා. ඒ සිද්ධිය මට තවමත් මතකයි. අදටත් ඒක මතක්වෙද්දිත් හිනා යනවා.

 ආරියවංශ කුලතිලක
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment