සියවසේ බොක්සිං සටනින් මේවෙදර්ට රු. කෝටි 2340ක්

Mewedar
සියවසේ විශිෂ්ටතම බොක්සිං සටන ලෙස විරුදාවලිය ලත් මේවෙදර්-පැකියෝ සටන නිමවූයේ ක්‍රීඩකයන් දෙදෙනාට රු. කෝටි 3900ක මුදලක් හිමිකර දෙමිනි. ඉතාමත් ආන්දෝලනාත්මක මෙන්ම තියුණු සටනක්
වනු ඇතැයි අනාවැකි කලින්ම පළවූ මෙම තරගයේදී අවසානයේ වට 12ම තරග වැදීමෙන් පසු ජයග්‍රාහකයා තීරණය කිරීමට සිදුවිය. 
මෙම තරගය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වුණි. 
අවසානයේදී තරග 48ක් අපරාජිතව සිටින ඇමෙරිකාවේ ෆ්ලොයිඩ් මේවෙදර් වසරේ ශූරයා බවට පත්වූයේ පිලිපීනයේ මැනී පැකියෝගේ සිහිනය බොඳ කරවමිනි. 
වට 12 අවසානයේදී විනිසුරුවන් තිදෙනාගේ ඒකමතික තීරණය අනුව මේවෙදර් ජයග්‍රාහකයා බවට නම් කළේය. විනිසුරුවන් දෙදෙනකු ලකුණු 116-112ක් ලෙසද, එක් විනිසුරුවරයකු 118-110ක් ලෙස සිය ලකුණු ලබාදී තිබුණි. 
මෙම සටනේදී මේවෙදර් එල්ල කළ පහරවල් 435න් 148ක් පැකියෝට එල්ල වී තිබූ අතර, පැකියෝ එල්ල කළ පහරවල් 429න් 81ක් මේවෙදර්ට එල්ල වී තිබුණි. 
මෙම ජයග්‍රහණය නිසා මේවෙදර්ට ඩොලර් මිලියන 180ක මුදලක් (රු.කෝටි 2340ක්) හිමිවූ අතර, පරාජිත පැකියෝට ඩොලර් මිලියන 120ක් (රු. කෝටි 1560ක්) හිමිවී තිබේ.
Mewedar1මීළඟ සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යන බවට මේවෙදර් පසුව ප්‍රකාශ කළද පැකියෝ තවත් තරගයකට අභියෝග කිරීම නිසා දැන් සමුගැනීම කල් දැමීමට සිදුවී තිබේ. 
තමන් තරග වැදුණේ ආබාධයක් සහිතව බව පැකියෝ පවසා ඇති අතර, ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසු යළිත් මේවෙදර් සමග සටන් කරන බව පවසා තිබේ.
මෙයට ප්‍රතිචාර දක්වා ඇති මේවෙදර් පවසන්නේ පැකියෝගේ ශල්‍යකර්මයෙන් වසරකට පසු යළිත් සටන් වැදීමට තමන් සූදානම් බවයි.
තම ජයග්‍රහණය ගැන පවසන මේවෙදර් “අපි දෙන්නම හොඳ තරගයක් දුන්නා. ඒත් පැකියෝට වඩා මම කට්ටයි” යැයි පවසා තිබේ.
පරාජයෙන් පසු අදහස් දක්වන පැකියෝ පවසන්නේ විනිශ්චය තමන්ට පිළිගත නොහැකි බවයි. පිලිපීන වැසියන් බොහෝ දෙනෙකුද විනිසුරුවන්ගේ තීරණය නිවැරදි නොවන බව ප්‍රකාශ කර ඇති බව පැවසේ.
කෙසේ වුවද රු. කෝටි 3900ක සටනින් මේවෙදර් ජයගත් අතර, වසරකින් පසු යළි පැවැත්වෙන සටනේ මුදල දෙගුණ වනු ඇතැයි අනාවැකි පළවී තිබේ.
Mewedar2
මංගල ධර්මප්‍රේම
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment