අතවරයට පත් තිදරු මවක් දිවි නසා ගනී වීඩියෝ එක රුපියල් තුන්සීයයි
ඔහු දේශපාලනඥයෙකි. මේ වන විට මැදිවියේ පසුවන ඔහු කලකට පෙර දෙමළ සන්නද්ධ සංවිධානයක සාමාජිකත්වය දැරුවේය. උතුරේ පිහිටි අතිදුෂ්කර ප්‍රදේශයක් වන මුලතිව්, මල්ලාවි, තුනුකායි,
කල්ලාවිලාන්කුලම්. 04 කණුව යන ගම්මාන ප්‍රදේශවල ඔහු සිය බලය පතුරුවාගෙන සිටියේය. මේ අතර මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. දෙමළ ජාතික සන්ධාන ඊව්ඒ තුනුකායි ප්‍රාදේශීය සභාව සඳහා තරග කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසද තේරීපත් විය.
මෙම දේශපාලනඥයා සිය බලය පතුරවාගෙන සිටි ප්‍රදේශයේ ජීවත් වූයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක ජනතාවකි. දරිද්‍රතාවය නිසාම ඉහළ අධ්‍යාපනයක් ලැබුවෙකුද නැති තරම්ය. ඒ නිසාම මෙම දේශපාලනඥයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වුවද ගම් ප්‍රදේශයේ ජීවත් වූයේ ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසය. ගැමියන්ගේ අහිංසක බවෙන් උපරිම ප්‍රයෝජන ගත් මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා ගම්වැසියන්ගේ ආර්ථික ගැටලුවලට උපකාර කරන බවට ප්‍රචාරයක් ගෙන ගියේය. ආධාර උපකාර බලාපොරොත්තුව ගැමියෝ ද ඔහුව සොයාගෙන එන්නට වූහ. ඒ අතර බහුතරය වූයේ තරුණ කාන්තාවන්ය. මන්ත්‍රීවරයා ගැහැනු දඩයම ආරම්භ කරන්නේ එහිදීය. නිවාඩු නිකේතන ගෙස්ට් හවුස් ප්‍රදේශයේ නැති වුවද එය ඔහුගේ කටයුතුවලට ඔහු බාධාවක් කර නොගත්තේය. ඔහු ප්‍රදේශයේ පාළුවට ගිය නිවසක් කුලියට ගත්තේය. පසුව ප්‍රදේශවාසී කාන්තාවන්ට එම කුලී නිවසට එන්නට කීය. එම කාන්තාවන් මන්ත්‍රීවරයාගේ බසට අවනත වූයේ ජීවත්වීමට ආධාර උපකාර බලාපොරොත්තුවෙනි. එම ආධාර ලබාගැනීමට පැමිණෙන කාන්තාවන්ට සිද්ධ වූයේ මන්ත්‍රීවරයා සමග යහන්ගත වීමටය. ඔහුගේ මේ ක්‍රියාකලාපයට විරෝධ පෑ මන්ත්‍රීවරයාගේ බිරිඳ ඔහුව අතහැර ගියාය. ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවකි.
දැනගන්නට ලැබෙන පරිදි මෙම කාමාතුර මන්ත්‍රීවරයාගෙන් ලිංගික අතවරයට ලක්වූ කාන්තාවන් ගණන 56කි. මෙම කාන්තාවෝ වයස අවුරුදු විස්සත් හතළිස් පහත් අතර වෙති. එයින්ද වැඩි පිරිස විවාහක කාන්තාවන්ය. මේ කාමාතුර මන්ත්‍රීවරයා කාන්තාවන් බිල්ලට ගත්තා පමණක් නොව ඔවුන් සමග යහන්ගතවීම තම ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝ ද කළේය. ටික කලක් යනවිට එම අසභ්‍ය දර්ශන ඇතුළත් සී.ඩී. තැටි ප්‍රදේශයේ වෙළෙඳසල්වල රුපියල් 200-300ට අලෙවි කෙරුණි. මේ සී.ඩී. තැටියක් මල්ලාවි කොල්ලාවිලන් ගම්මානයේ පදිංචිකරුවෙකුට ද හමුවී තිබිණි. එය නැරඹූ ගම්වැසියාගේ ඇස් උඩගියේය. එහි ඇතැම් දර්ශනවල ඔහුගේ බිරිඳද වූවාය. හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ තිදරු මවක වූ එම කාන්තාව මන්ත්‍රීවරයා සිය යහනට කැඳවාගෙන ඇත්තේ ආහාර සලාකයක් දෙන බවට ඇය රවටාය. උස්මහත්වූ දරුවන් සිටින එම මව ඒ වන තෙක් වීඩියෝ දර්ශන පිළිබඳව දැන සිටියේ නැත. ඇය මේ ගැන දැනගන්නේ ඒ ගැන සිය සැමියා ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඉක්බිතිව දරුවන්ට, සැමියාට, ඥාතීන්ට මුහුණදීමට නොහැකි වූ එම කාන්තාව අවසානයේ තීරණයක් ගත්තාය. ඒ දිවිනසා ගැනීමටය. එම සිද්ධිය වූයේ 2015 පෙබරවාරි
25 දාය.
ඉන් අනතුරුව සිදුවූ දෑ අපට විස්තර කළේ කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියක වූ සුහන්දි මදි අමුදන්ය. ඇය යාපනය කොකුවිල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.
දේශපාලනය කරන කෙනෙකුගෙන් ලිංගික අතවරයට ලක්වුණ මවක් සියදිවි හානි කරගෙන කියලා අපිට තොරතුරක් ලැබුණා. ලැබුණ ආරංචියට අනුව අපි කීපදෙනෙක් මල්ලාවි ගිහින් එම මවගේ මළ ගෙදරට ගිහින් තොරතුරු හොයලා බැලුවා. ඒ පවුලේ කට්ටිය හමු වුණා. එයාලගෙන් විස්තර ගනිද්දී තේරුණා අපට ලැබුණ තොරතුරු හරි කියලා. අපට අදාළ සී.ඩී. තැටිත් ලැබුණා. එම සී.ඩී. තැටිවල ඉඳපු මියගිය කාන්තාවට අමතරව හිටපු අයගෙන් තවත් 4ක් එදාම හමුවෙලා තොරතුරු ගත්තා. ඒ වෙද්දිත් තවත් තරුණියක් සියදිවි නසාගන්න උත්සාහ කරලා තිබුණා. කොහොම වුණත් අපට හමුවුණ කාන්තාවන් හතර දෙනාටත් උපදේශන කටයුතු කළා. මේ ගැන පැමිණිලි කිරීමට අපි මල්ලාවි පොලීසියට ගියා. එතන හිටපු මහත්තුරු අපේ කතාවට ඇහුන්කන් දුන්නේ නැහැ. මේ ගැන හෙව්වෙ නැතිනම් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා කීවාම පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා ඇවිත් කතා කරලා මේ ගැන නීතියෙන් කටයුතු කරනවා කියලා පොරොන්දු වුණා. එතනින් පස්සෙ අපි ගියේ මුලතිව් දිසාපතිතුමාව හමුවෙන්න. දිසාපතිතුමා හමුවෙද්දි රාත්‍රී 11යි. එතුමාට සේරම විස්තර කරලා කියලා සීඩි තැටියත් පෙන්නුවා. එතුමාත් පොරොන්දු වුණා නීතියෙන් කරන්න ඕන දේවල් කරලා ඉතිරිවෙලා ඉන්න කාන්තාවන්ගේ සුබසාධනය හා ආරක්ෂාව බලන්නම් කියලා. ඊට පස්සෙ යාපනයට ඇවිත් දෙමළ මාධ්‍යයට දැනුම් දුන්නා. දෙමළ සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහත්තයාව හමුවුණා. මම යන්න කලින් මාවෙයි මහත්තයා සී.ඩී. එක බලලා තිබුණා. එයා කීවා බලන්න අප්‍රසන්නයි. ටිකයි බැලුවේ. මේවා සහගහන අපරාධ කියලා. මම එතකොට ඇහුවා ඔයාගේ පක්ෂයේ මන්ත්රීවරයෙක්නෙ. ඇයි විනයානුකූලව කටයුතු කරන්නෙ නැත්තෙ කියලා. එතකොට එයා කීවා අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණාට දන්නෙත් නැහැ දැකලත් නැහැ කියලා. එතකොට මම ඇහුවා දැකලා නැති දන්නෙ නැති කෙනෙකුටද නාමයෝජනා දීලා ගමට ඇවිත් ඡන්දය දෙන්න කියලා මිනිස්සුන්ට කීවේ කියලා. එතනදි මාවෙයි මහත්තයට කේන්ති ගිහින් බහින්බස්වීමක් වුණා. අවසානයේදි එයා කීවා පිටරට ඉන්න දෙමළ අයට කියලා මියගිය කාන්තාවට මූල්‍ය ආධාරයක් කරන්නම් කියලා. ඒත් පස්සෙ ආරංචි වුණා දෙමළ සන්ධානය දෙමළ මාධ්‍ය ආයතනවලට කතා කරලා මේක අපි දේශපාලන වාසිගන්න කරන දෙයක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරය වන එක නවතලා කියලා.
නමුත් මේ සියලු කටයුතුවලින් තම උත්සාහය අත්නොහරින සුහන්දි අවසානයේදී උත්සාහ දරන්නේ රජයේ පාර්ශ්වයෙන් හෝ සහයෝගයක් ගැනීමටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා අප්‍රේල් හතරවැනිදා යාපනයට ආවා. එදා අපි කාන්තා සංවිධානයේ අය 40ක් විතර යාපනයේදී විරෝධතාවයක් කළා. ඒත් රජයේ අවධානය යොමු වුණේ නැහැ. මේ සියලු තොරතුරු ඇතුළත් ලිපි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහතාට, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහත්තයාට දුන්නා. ඒත් අද වෙනතුරු විසඳුමක් නැහැ. බැරිම තැන 2015-07-06 කන්කසන්තුරේ පාරේ නාච්චිමලර් කෝවිල ළඟ විරෝධයක් තිබ්බා. අපට තේරෙන විදිහට දෙමළ ජාතික සන්ධානය එයාලට දේශපාලන වශයෙන් අවාසියක් වේවි කියලා මේ සිද්ධිය යටපත් කරන්න බලපෑම් කරනවා යැයි ද කීවාය.
සුහන්දි මහත්මිය ප්‍රකාශ කරන පරිදි මේ වන විට ඇගේ ආරක්ෂාවට ද තර්ජන එල්ලවී ඇත. දැනගන්නට ලැබෙන පරිදි චෝදනා එල්ලවී ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇත. ප්‍රදේශවාසීහු කියනුයේ එම මන්ත්‍රීවරයා මේ වන විට මැලේසියාවට ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබි ඇති බවකි.
මෑත කාලයේදී උතුරු ප්‍රදේශයෙන් කාන්තා අතවර රැසක්ම වාර්තා විය. නමුත් කුමන හෝ හේතුවකට එම සිදුවීම් යටපත්ව යන ඉඩකඩ වැඩිය. තරමක් හා් ජනතාවගේ අවධානයට ලක්වූයේ කයිට්ස් හි විද්‍යා සිසුවියගේ ඝාතනය පමණි. විද්‍යා සිසුවියට සිදුවූ අතවරය වීඩියෝ ගතකර ඇති බවට තොරතුරු හෙළිව තිබුණි.
0 comments:
Post a Comment