මේ අය “රස්සාවට”අඬන හැටි?


තිසුරි යුවනිකා
අපි රඟපාන්න ගියාම අඬන්න සිද්ධවෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. සමහර දර්ශන රඟපාන විටදී නම් මට ඒ චරිතය ඇත්තටම දැනෙනවා.
අනේ මේ දේ මට සිද්ධ වුණා නම් කියලා හිතෙනවා. එතකොට නම් ඒ චරිතය මම තමුන්ගේම දෙයක් බවට පත්කර ගන්නවා. එහෙම වෙලාවට මගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන්නේ ඉබේටමයි. මගේම කරගත් චරිත රඟපාන විට අඬන දර්ශන රූගත කරන්න අමුතුවෙන් කඳුළු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෑතකදී රඟපාපු සුළඟ මත මොහොතක් ටෙලි නාට්‍යයේ අඬන දර්ශන සියල්ලම රූපගත කළේ තාත්වික විදිහට. ග්ලිසරින් දාන්න අවශ්‍ය වුණේ නැහැ.
ඒත් සමහර ටෙලි නාට්‍යවල හඬන චරිත රඟපාන්න ගියාම ඇස්වලට කඳුළු එන්නේ නැහැ. මොකද ඒ චරිත හිතට ඒතරම් වදින්නේ නැති නිසා. සමහර නළු නිළියො ඉන්නවා ඒ අයට ඕනෑම වෙලාවකදී ඇස්වලින් කඳුළු ගන්න පුළුවන්. ඒත් මට නම් ඒ හැකියාව නැහැ. ඒ වගේ අවස්ථාවලදී නම් කඳුළු ගන්න ග්ලිසරින් දාපු අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට නම්
අධ්‍යක්ෂවරයා කියනවා පිටපතේ අඬන්න කියලා තිබුණට අඬන්නම ඕනෑ නැහැ, ඇඬෙන්නේ නැතිනම් ඒ අවස්ථාව මට දැනෙන විදිහට රඟපාන්න කියලා. මොනවා කරන්නද? හැම අඬන චරිතයකටම කඳුළු ගන්න බැහැනේ.

නෙහාරා පීරිස්

අඬන දර්ශනයක් රූගත කරන්න අවශ්‍ය වුණාම මට ඒ දර්ශනය වෙලාවේදී ඉබේටම කඳුළු ගන්න පුළුවන්. හැබැයි ඒ දර්ශනය කීපවරක් කරන්න වුණොත් මට ග්ලසරින් පාවිච්චි කරලා තමයි කඳුළු ගන්න වෙන්නේ. මොකද මට තුන් පාරකට වඩා කඳුළු ගැනීමේ හැකියාවක් නැති නිසා. මම නම් හිතන්නේ ඒ දර්ශනයට ගැළපෙන විදිහට කඳුළු ගැනීමේ හැකියාව ඇතිවෙන්නේ රංගනයේ පළපුරුද්ද සහ අත්දැකීම් එක්ක. මටත් රඟපාන්න ආපු මුල් කාලයේදී දර්ශනයට අනුව කඳුළු ගන්න පුළුවන් වුණේ නැහැ. කාලයක් ගියාම තමයි පුළුවන් වුණේ.
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. රඟපාන්න ගියාම අවට පරිසරයේ බාධාවනුත් කඳුළු ගැනීමට බලපානවා. අපි හිතමු ඉතාමත් දුක්බර සිද්ධියක් රඟපාන්න ගියා කියලා. ඒත් එය රූගත කරන අවස්ථාවේදී වාහනයක් නළාව හඬවාගෙන එතනින් ගියොත් මට ඒ මූඩ් එකට එන්න බැරිවෙනවා. එතකොට නම් මට ඇස්වලින් කඳුළු ගන්න බැහැ. එහෙම වෙලාවටත් ග්ලිසරින් දාලා කඳුළු ගන්න සිද්ධ වෙනවා.

මංජුලා කුමාරි

මාව හුඟක් ජනප්‍රිය වුණේ ඕලු ටෙලි නාට්‍යයෙන්. ඕලු ටෙලි නාට්‍යයේ මට 75ක්ම රඟපාන්න තිබුණෙ අඬන දර්ශන. දවසක් බන්දුල විතානගේ මහත්මයා හමු වූ අවස්ථාවේදීත් මගෙන් ඇහුවා ඕලු නාට්‍යයේ ඔයතරම් ඇඬුවේ කොහොමද කියලා. රඟපෑමේදී මම ඒ තරමටම අඬන්න පුරුදු වුණේ ඒ චරිතයට මම ආරූඪ වෙන නිසයි. රඟපාන්න ගියාම මම ඒ චරිතය තුළ ජීවත් වෙනවා. ඒ චරිතයට සිද්ධවෙන අසාධාරණකම් ගැන දුක් ගැහැට ගැන මම හිතනවා. එතකොට මට ඉබේටම ඇඬෙනවා. ඒත් සමහර චරිතවලදී අඬන්න ඕනෑ වුණත් බැරිවෙන අවස්ථා තිබෙනවා. අපි හිතමුකො මම රඟපාන දර්ශනයේ තව කීපදෙනෙකු ඉන්නවා කියලා. ඒ අය වරද්දා වරද්දා කරනවා කියලා. එතකොට මට අඬන චරිතය හරියට කරගන්න බැරිවෙන වෙලාවල් තිබෙනවා. සාමාන්‍යයෙන් දර්ශනයක් තුන් පාරකට වඩා වැඩියෙන් කරන්න සිද්ධ වුණාම අඬන දර්ශනය ස්වභාවික විදිහට කරන්න බැරිවෙන අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට නම් ග්ලිසරින් දාලා කඳුළු එන්න සලස්වනවා.
සමහර වෙලාවට අධ්‍යක්ෂවරයාට ඒ දර්ශනය ඉක්මනින් රූගත කරලා අවසාන කරන්න වුවමනා වුණා කියලා හිතමුකො. මොකද ඉර බැහැගෙන යනවා නම්, වැස්සක් වහින්න ළඟ එනවා නම් ඉක්මනින්ම රූගත කරලා ඉවර කරනවානේ. ඒ වෙලාවටත් කඳුළු එන්න ග්ලිසරින් දාලා අඬන දර්ශන රූගත කරනවා. ඒ හැරුණම චරිතය තුළ ජීවත් වුණෙත් අඬන දර්ශනයක් තාත්විකව කරන්න පුළුවන්.

රුවන්ගි රත්නායක

දුක හිතෙන චරිතයක් රඟපාන්න වුණාම අපිට අඬන්න කඳුළු ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ චරිතය ගැන හිතලා ඒ චරිතය එක්කම ඉන්නවා නම් ඇස්වලට කඳුළු එන්නෙ ඉබේටමයි. ආයේ කඳුළු ගන්න අමුතුවෙන් කරදර වෙන්න ඕනෑ නැහැ. ඒත් මෙගා ටෙලි නාට්‍යවල රඟපාද්දී නම් ඒ දර්ශනය එක දිගට ගන්නේ නැති අවස්ථා තිබෙනවා. එක් රූපරාමුවක් එක් කැමරාවකින් රූගත කරලා ඒ කැමරාවම අනිත් පැත්තට හරවලා තව දර්ශනයක් ගන්නවා. ඊට පස්සේ ආයෙමත් අපේ පැත්තට කැමරාව හරවලා අඬන දර්ශනයේ ඉතිරි ටික රූගත කරනවා. එහෙම වෙලාවට නම් ග්ලිසරින් දාලා කඳුළු මතු කරගෙන තමයි අඬන්න වෙන්නේ. අපි හිතමුකො අපි අඬන දර්ශනය එක දිගට නිවී සැනසිල්‍ලේ රූගත කරනවා කියලා. එහෙම වෙලාවට නම් ග්ලිසරින් නැතිව ඒ අඬන දර්ශනය තාත්විකව කරන්න පුළුවන්. එතකොට ඉබේටම කඳුළු එනවා. ඒත් චරිතයක් විනාඩි 20කින් 30 කින් වෙනස් කර කර රූගත කරද්දී සැරින් සැරේට අඬන්න බැහැනේ. එතකොට ඉතින් ග්ලිසරින් පිහිට තමයි. හැබැයි ග්ලිසරින් දාලා කඳුළු ගන්න විතරයි තියෙන්නේ. ඇස්වලට කඳුළු උනනකොට ඒ දර්ශනයේ විදිහට අඬන්න පුළුවන්. අඬන දර්ශනයේ ආරම්භයේ තමයි අමාරුව තියෙන්නේ.

හර්ෂණ බෙත්මගේ

එක්තරා ටෙලි නාට්‍යයක දුකින් අඬන අවස්ථාවක් නිරූපණය කරන්න මට ලැබුණ කියලා හිතමුකො. මම ඉස්සෙල්ලාම කරන්නේ මගෙන්ම මම ප්‍රශ්න ටිකක් අහන එක. ඒ තමයි මම ඒ චරිතය මුල ඉඳල ගොඩ නැගුවේ කොහොමද? මම ඒ වගේ කෙනෙකු වුණොත් දුක්බර අවස්ථාවකදී හැසිරෙන්නේ කොහොමද? කුමක් හෝ දුක හිතෙන සිද්ධියකදී  කරදර අවස්ථාවකදී මම ඒ චරිතය වුණා නම් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්න ටික මම මගේ හදවතින්ම අහගන්නවා. ඊට පස්සේ මම ඒ මූඩ් එක ගන්නවා. ඒ පසුබිම එක්ක ඒ චරිතයේ මම ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට අඬන අවස්ථාවක් රූගත කරන්න ‍ලේසියි. ඒ වගේ වෙලාවට ඉබේටම ඇස්වලින් කඳුළු එනවා. මොකද සමහර වෙලාවට අපිට අනෙක් නළු නිළියන්ගේ සහය නැතිව අඬන දර්ශන තනිවම කරන්න සිද්ධ වෙනවා. මම මුලින් කිව් විදිහට ප්‍රශ්න ටික මම මගෙන්ම අහගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා නම් අනිත් අයගේ සහය නැතිව වුණත් ඒ වගේ දර්ශනයක් කරන්න පුළුවන්. සමහර විට අධ්‍යක්ෂවරයා කිව්වොත් කඳුළු රූරා වැටෙන විදිහට රඟපාන්න කියලා මම ඒ දර්ශනය තාත්විකව කරන්නේ මගේ ඒ ක්‍රමය නිසයි.
හැබැයි ඒ අඬන දර්ශනය තුන්, හතර වතාවක් ගන්න නම් බැහැ. මොකද මම ඒ සංවේදී බව, මට දැනෙන විදිහ තුන් හතර වතාවක් කරනවා කියන්නේ මම මාවම රවට්ටා ගන්නවා කියන එකනේ. චරිතයක ජීවත් වෙනවා නම් ඒක සැරින්සැරේ වෙනස් වෙන්නේ නැහැනේ. සැරින්සැරේ වෙනස් කරමින් චරිතයක ජීවත් වෙන්නත් බැහැ.
සාමාන්‍යයෙන් මම නම් කඳුළු ගැනීමට ග්ලිසරින් පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද ග්ලිසරින් දාපුවාම මට ඕනෑ විදියට අඬන්න වෙන්නේ නැහැනේ.
ග්ලිසරින්වලට ඕනෑ විදියට තමයි අඬන්න සිද්ධ වෙන්නේ. හැබැයි අඬන දර්ශන රූගත කරන සමහර අවස්ථාවලදී ග්ලිසරින් පාවිච්චි කරපු අවස්ථා තිබෙනවා. මොකද මම කට්ටිය එක්ක විනෝදයෙන් ඉන්න ගමන් එකපාරට අඬන දර්ශනයක් රූගත කරන්න කතා කළොත් මට එක පාරටම ඒ අවස්ථාවට වෙනස් වෙන්න බැහැනේ. ඒ වෙලාවට නම් ග්ලිසරින් පාවිච්චි කරන්න වෙනවා.

ධනංජය සිරිවර්ධන

රංගනයේදී අඬන අවස්ථාවක් නිරූපණය කරනවා කියන්නේ භාවතිශය රංගන අවස්ථාවක් ඉදිරිපත් කිරීමටයි. භාවතිශය රංගනය කියන්නේ රංගනයේ කොටසක් තමයි. ඒ රංගනය ක්‍රම කීපයකට කරන්න පුළුවන්. ප්‍රධානම ක්‍රමය තමයි ඒ චරිතවලට සමාරෝපණය වීම. හැබැයි චරිතයට සමාරෝපණය වීමේදී ක්ෂණිකව කරන්න බැහැ. ඒ චරිතය රඟපාන්න පූර්ව සූදානමක් තියෙන්න ඕනෑ. මට ඒ විදිහේ චරිතයක් රඟපාන්න ලැබුණාම මම පැය 1  1/2 විතර කිසිම කෙනෙකු එක්ක කතා කරන්නේ නැතිව පැත්තකට වෙලා ඒ මූඩ් එක ගන්නවා. එවිට ඒ චරිතයත් එක්ක ඇත්තටම ඇඬෙනවා. ආයාසයෙන් අඬන්න ඕනෑ නැහැ. මම ඒ විදිහට ඇත්තටම අඬපු අවස්ථා 2ක් තිබෙනවා. ඒ සුභා ටෙලි නාට්‍යයේ සහ රතු අහස ටෙලි නාට්‍යයේ. රතු අහස ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මට ඒ චරිතයට ආරෝපණය වෙන්න ඕනෑ තරම් කාලය ලබා දුන්නා. අනිත් නළු නිළියන් බාධා කරන්නේ නැතිනම් අධ්‍යක්ෂවරයා කාලය දෙනවා නම් ඒ වගේ අඬන දර්ශනයක් තාත්විකව රඟපාන්න පුළුවනි.
හැබැයි මට කඳුළු එන එක නම් ටිකක් විතර අඩුයි. එහෙම වෙලාවට ග්ලිසරින් යොදාගෙන රඟපාන්න වෙනවා. ග්ලිසරින් කඳුළු උනන්න යොදා ගත්තත් මම අඬන දර්ශනය රඟපාන්නේ හදවතින්මයි.

 හර්ෂා සුගතදාස
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment