විහංගා ලස්සනම ලස්සන පුංචි තාරකාවකි. සිහින මල් පොදිබැඳගෙන පයනැඟූ තාරකා ලෝකයේ ඇය අතරමන්වී ඇත. ඇයට ඉන් මිදීමේ අවශ්‍යතාව ඇත. තවත් අය මුදවාගැනීමේ අවශ්‍යතාවද ඇත. ඒ නිසාම පෙර දිනක කතිකාකරගත් පරිදි ඇය
ගංගාරාම වැව අසබඩට ඒමට පොරොන්දු වූවාය. මම ඇය එනතුරු බලා සිටියෙමි. කෙමෙන් කෙමෙන් මිනිස් හඬවල් වියැකී ගියේය. වරින් වර වාහන ශබ්දය පරිසරය අවදිකළේය. පාට පාට විදුලි බුබුළු ජල රළ මත සැණකෙළි කළේය. මම ගල් බංකුව මත වාඩිවී ඒ සොඳුරු සන්ධ්‍යාව වින්දනය කළෙමි.‘‘අක්කියෝ මම පරක්කු නෑ නේද’’ ඒ සොඳුරු රුවැත්තිය පැමිණ සිටියාය. කතා කරන නේත‍්‍රා ඇත්තිය තාමත් පාසල් සිසුවියක සේය. දඟකාර හසරැල්ලක් නගා ගත් ඇය මා අසලින්ම අසුන්ගත්තාය.
‘‘ඔයා ගොඩක් වෙලාද ඇවිත්’’ විහංගා යළිත් මට ප‍්‍රශ්නයක් යොමු කළාය.
‘‘ටිකක් වෙලා.... කොහොමද ඔයාට’’
මම ඇය හා පිළිසඳරේ යෙදුනෙමි.
‘‘ජීවිතේ හොඳයි අක්කි. ඒත් ගොඩක් දුකයි...’’
ඇය දිග කතාවක් කීමට මුල පිරුවාය.
‘‘ඔයා දිහා බලද්දිනම් හිතෙන්නේ සතුටින් නිදහසේ ඉන්න පුංචි කිරිල්ලියක් කියලා’’
මම ඇයට ඇගේ කතාව කීමට ඉඩහසර ලබාදුන්නෙමි.
‘‘ඔව් අක්කි ගොඩක් අය හිතන්නේ එහෙමයි. ඒත් මේ පුංචි කාලෙට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු කොච්චර නපුරුද කියලා ඉගෙන ගත්තා.’’
ඇය දිගු සුසුමක් ගෙන මොහොතකට නිහඬ වූවාය. සමාජයේ සුදු පිරුවට පොරවාගත් තමන් මහත්මයන් ලෙස සලකන කොට්ඨාසයක් නිරුවත් කිරීමට ඇය සැරසුණාය. මම ඇයට අවස්ථාව දී නිහඬව බලා සිටියෙමි.
‘‘අක්කි, මම අපේ ගෙදර හිටපු බාලයා. ඒ නිසා ගෙදර හැමෝම මට ගොඩක් ආදරේ කළා. මම ඉල්ලන හැමදේම මට ලැබුණා. අපිට ආර්ථික අඩුපාඩු තිබුණෙත් නැහැ. මම උසස්පෙළට කළේ නාට්‍යයකරණය. මට ඩාන්සිනුත් හොඳට පුළුවන්. විභාගේ ලියලා ඉවරවෙලා තරුණසේවා එකේ අනුග‍්‍රහයෙන් කරන නාට්‍යයකරණ පාඨමාලාවකුත් කළා. එතනදි කලා ක්ෂේත‍්‍රයේ කීපදෙනෙක්ම අඳුරගන්න ලැබුණා. එයාලගේ උදව්වෙන් පුංචි පුංචි වැඩසටහන්වලටත් සම්බන්ධවෙන්න පුළුවන් වුණා.
කලාවට ආදරේ කරපු මට තරුවක් වීමේ සිහිනය ඇතිවුණේ ඊට පස්සේ. මම දැක්කා රියැලිටි වැඩසටහන්වලට එන අයියලා අක්කලා ජනප‍්‍රිය වෙන විධිය. මටත් ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධවෙන්න තිබුණානම් කියලා හිතුණා. ඒ නිසා මම නාට්‍යකරණය ඉගෙන ගන්න කාලේ අඳුනාගත්ත අයිය කෙනෙකුට කතා කළා. එයා මට උදව්කරන්න කැමති වුණා.
මගේ අම්මා තාත්තලා ගමේ අය. මීට ඉස්සර වෙලත් මම වැඩසටහන් කීපයකට දායක වෙලා තිබුණ නිසා අම්මලටත් ඒක අලූත් දෙයක් වුණේ නෑ. ඒ නිසා මට එයාලගේ කැමැත්තෙන්ම කොළඹ යන්න පුුළුවන් වුණා. මම වට කීපයකින්ම තේරුණා. අවසානයේ තෝරාගත්ත පිරිසකට නේවාසික පහසුකම් දීලා කරන ‘‘වර්ක් ෂොප්’’ එකකටත් සම්බන්ධවෙන්න වුණා. මට මගේ ජීවිතේ වැරදුණේ එතනදී. විහංගාගේ කතාකරන දෑස් අගින් කඳුළු බිංදුවක් ගලාගෙන ගියා. මොහොතක් සඳකැන් දඟකරන දියමතුපිට දෑස්රඳවා සිටි ඇය යළිත් කතාව ඇරඹුවාය.
අවසානෙට යද්දි හොඳ යාළුවෝ වගේ එකට තරඟ කරපු අපි අතරත් ලොකු තරඟයක් ඇති වුණා. කොහොම හරි එක්කෙනෙක් අබිබවා අනෙක් කෙනා නැගී සිටින්නයි උත්සහ කළේ. ඒ නිසා බලගතු පාර්ශව වලට සමීපවෙන්න අපට වුවමනා කළා. ඒ වගේම සල්ලි වියදම් කරන්න පුළුවන් ස්පොන්සර්ලත් අපට අවශ්‍ය වුණා. ඒ හැම දෙයක්ම සපුරා ගෙනයි තරගයට මුහුණ දෙන්න සිද්ධවුණේ.
ගෙදර වැඩිහිටියන්ගෙන් අයින්වෙලා සමාජයක හුදෙකලාවෙච්ච මම කොහොමහරි තරඟයෙන් දිනනවා කියන අධිෂ්ඨානයෙන් හිටියේ. ඒ නිසාම මට කියන කරන දෙයක බරක් පතළක් තේරුම් ගන්න බැරිවුණා. මම වෙනුවෙන් වියදම් කරන ඒ මහත්තයා මගේ ජීවිතේ ගොඩක් දේවල් උදුරාගත්තා. ඒත් ඒ කිසිම දෙයක් මගේ මව්පියෝ දැනගත්තේ නෑ. මාව ටික ටික ප‍්‍රසිද්ධ වෙද්දී එයාලා ගොඩක් සතුටු වුණා. මමත් මගේ සිහිනයට යන්න පාර හදාගන්න මගේ හැදියාව විසිකරලා දැම්මා. ලෝකයට රහසක් වෙච්ච, මගේ හෘද සාක්ෂියට රහසක් නොවෙච්ච ඒ පවුකාර ජීවිතය මට අදත් වධදෙනවා. ඒ අවස්ථාවෙන් පස්සේ මට විවිධ අංශවල කලා කටයුතුවලට සම්බන්ධවෙන්න පුළුවන් වුණා. ඒත් කලාවට ආධුනිකයෙක් වෙච්ච මට අද ඉන්න තැනට එන්න නීරස ගොඩක් දේවල් කරන්න වුණා. ජනප‍්‍රියත්වය, මුදල්, යාන වාහන හැමදේම අද තියෙනවා. ඒ මොන දේ තිබුණත් සතුටුවෙන්න බැරි ලොකු දුකකුත් හිතයට හැංගිලා තියෙනවා.
අද මම මගේ කතාව කිව්වෙ යම් කිසි පරමාර්ථයක් හිතේ තියාගෙන. ඒක මම වගේ කලාවට ආදරේ කරන කලාවට සම්බන්ධවෙන්න හදන නංගිලා වෙනුවෙන් කරන ඉල්ලීමක්. අපේ රටේ ගොඩක් දක්ෂ අය ඉන්නවා. ඒත් එයාලා කැලේ පිපිලා කැලේම පරවෙලා යන මල් වගේ. එයාලගේ දක්ෂතාවන් එළියට ගන්න ඕන. ඒ අපිට වගේ විනාශකාර අත්දැකීම් ලබාදීලා නෙවෙයි.
රජයේ හරි පෞද්ගලික අංශයේ හරි කරන වැඩසටහන්වල ප‍්‍රමිතිකරණයක් තියෙන්න ඕන. කතා කරපු ගමන් ජීවිතේම දෙන්න හදන අය නැතුව සැබෑ දක්ෂයෝ හොයලා සාධාරණව ඉදිරියට ගන්න ඕන. හැමදෙයකටම වැඩිහිටි මව්පියන් සහභාගී කර ගන්න ඕන. විශේෂයෙන්ම නේවාසික වර්ක් ෂෝප් කරද්දී ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමක් ගන්න ඕන. ඒ වගේ පසුබිමක් නිර්මාණය නොවෙන තාක්කල් බොහෝ පිරිසක් වැරදි පාරෙන් ගමන් කරයි. ඊට පස්සේ අපි වගේ රහසින් අඬ අඬා ජීවත්වෙයි.
ඇය වයසින් නම් ලාබාලය. එහෙත් ඇගේ දෘෂ්ටිවාදය නම් ප‍්‍රබලය. සිය දියණිය හෝ සොයුරිය දෙස කවරෙකු හෝ වැරදි ඇසකින් බැලූවහොත් ඔවුන් සමඟ මරාගැනීමට යන්නේ පිතෘත්වයේ හෝ සහෝදරත්වයේ යුතුකම් ඉටුකිරීමටය. සමාජය ඉදිරියේ ඔවුන් වගකිව යුතු පරමාදර්ශි චරිතද වන්නේය. එහෙත් තවත් කාගේ හෝ සොයුරියක් දියණියක් අසම්මතයේ අඹුකමට ගැනීමට ඔවුහු මැලි නොවෙති. පිපී එන පුංචි මල්කැකුළු තලා පොඩිකර දමා නවගුණවැලක් ගෙන ගෙදර යන ඔවුහු සමාජහිතකාමීන් ලෙස සමාජය හමුවේ වැඡුඹෙති.
එහෙත් විය යුත්තේ එයද? කෙනෙකුගේ දුර්වලතාවක් හෝ අසරණකමක් ප‍්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ අනාගතය වනසා දමා සැබෑ සතුටක් ළඟාකරගත හැකිවේද? බෞද්ධ දර්ශනයට අනුව තමා කළ හොඳ නරක ගොනා පසුපස එන කරත්ත රෝදය සේ තමා පසුපසම හඹා එන්නේය. ඔබට සිතීමට උසස් මනසක් හිමිවී ඇත. ජීවිතය තේරුම් ගැනීම ඔබට භාරය. සිහින සොයායන ඔබටද හමුවන පාරවල් දෙකක් ඇත. එකක් නිවැරදිය. එකක් වැරදිය. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබ බලාපොරොත්තුවන සැබෑ සතුට හිමිකර ගත හැකිය.
මිථ්‍යාව තුළින් ජීවිතය සොයාගත නොහැක. ඔබ අවධානයට ගත යුත්තේ එයම නොවේද?
0 comments:
Post a Comment