වේගවත් පා යුගලයකට හිමිකම් ඇති ‘ජපනෙක්’ පසුගිය 23 දා ගිනස් ලෝක වාර්තා පොත වෙත වේගයෙන් දිව ගියේය. මෙහි ඇති
විශේෂත්වය මෙම ධාවකයා එසේ මෙසේ අයකු නොව අවුරුදු සියය ඉක්මවූ ‘සීයා’ කෙනෙක් වීමයි. ලොව වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට්ටත් අභියෝග කරන මෙම සීයා තමා හඳුන්වන්නේ “වෛද්‍ය ආශ්චර්යක්” ලෙසය.“රත්තරන් බෝල්ට්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන “හිඩෙකිචී මියසාකී” වන මෙම ජපන් සීයා පසුගියදා කොයෝටෝ නුවරදී තත්පර 42.22 කාලයක් වාර්තා කරමින් ලොව වේගවත්ම මිනිසා යන විරුදාවලියට හිමිකම් කීවේ වයස අවුරුදු 105ට වැඩි අංශයේ මීටර් 100 තරගය නිමා කරමිනි.
මෙවැනි වයස කාණ්ඩායක තරගයක් මින් පෙර පවත්වා නැත.) මෙහි අනෙක් අපූර්වත්වය මෙම ලෝක වාර්තාවට හිමිකම් කියන විට “හිඩෙකි” තම 105 වැනි උපන් දිනය සමරා ගතවී තිබුණේ එක් දිනක් පමණක් වීමය.
කෙසඟ සිරුරැති “හිඩෙකිචී” තරගය නිමා කිරීමෙන් පසු සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ “මෙම තරගයේ කාලය පිළිබඳව මා සෑහීමකට පත් වන්නේ නෑ” කියායි. “මා සමෛන් දුවන්නට වූ නිසා තරගය අතරමගදී මගේ ඇස්වලට කඳුළු පිරුණා. සමහර විට මම මහලු නිසා වෙන්න ඇති” ඔහු තවදුරටත් පවසා සිටියා.
බෝල්ට් මීටර 100 සඳහා තත්පර 9.58ක කාලයක් වාර්තා කර තිබුණි. හිඩෙකිචී මීටර් 100 දිවීමට ගත් වෙලාව දෙස බලන විට බෝල්ට්ට එම තරගය හතරවරක් නිමා කිරීමට හැකියාව ඇත. ප්‍රායෝගිකව බලන කල හිඩෙකිචී මීටර් 100 අවසන් කිරීමට ගත් කාලයෙන් බෝල්ට්ට මීටර් 400 තරගය නිම කළ හැකි වුවත් හිඩෙකිචීට එය පසුතැවීමට හේතුවක් නොවන බව පළල් සිනහවකින් මුව සරසාගෙන ඔහු පවසයි. “ඔබ දන්නවනේ මම මේ පටන් ගත්තා විතරයි“ කියාය. “මට සිද්ධ වෙනවා දැඩි ලෙස පුහුණුවීම්වල යෙදීමට. මාගේ පුහුණුවීම් කොහොමත් ප්‍රශස්ථ මට්ටමක පැවතුණ නිසා මීටර් සියය තරගයට තත්පර 35ක ඉලක්කයක් මම ඇති කරගත්තා. හැබැයි මං තවත් වේගවත් වෙන්න පුළුවන්” මියසාකී තවදුරටත් පවසයි.
“මා මෙය කිව යුතුමයි. මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇත්තටම මට ආඩම්බරයි“ මියසාකී තම කථාව තවත් දික් කරයි. ලෝකයේ ඉතා අධිකම ආයු අපේක්ෂාව පවතින රටවලින් එකක් වන ජපානයේ, වැඩිමහලු ජනගහනයේ වර්තමාන පූරකයා බවට පත්ව සිටින්නේ ‘මියසාකී’ය.
“දින කීපයකට කලින් වෛද්‍යවරු මාව නොයෙක් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කළා. ඇත්තෙන්ම මම දැන් ‘වීණාවක්’ වගේ කෙලින් ඉන්නවා.”
“මගේ මොළයේ ක්‍රියාකාරීත්වය නම් තියුණුම නොවෙන්න පුළුවන්. ඒත් ශාරීරිකව මම ඉතා හොඳින් ඉන්නවා. මට කවදාවත් සෞඛ්‍ය ගැටලු තිබුණේ නෑ. හැම විටම මම වෙද්යවරුන්ව පුදුමයට පත් කළා. නිසැක වශයෙන්ම මම තව අවුරුදු දෙකක් හෝ තුනක් ධාවන තරගවලට සහභාගි වෙනවා” මියසාකී පවසයි.
තම මව්බිමෙහි පාට වන රතු පැහැයෙන් සැරසී, මුළු දෙපාම නිරාවරණය වන තරමටම ඉහළට ඇඳගත් තද කොට කලිසමකින්ද සැරසී මියසාකී තරගය ආරම්භ කළේය. දුර්වල ආරම්භයකින් පසු පහසු රිද්මයකට පත්වූ මියසාකී, මල් පොකුරු පිළිගන්වා ආචාර කළ තම දරු මුණුපුරන්ගේ හා තරගය නැරඹීමට පැමිණි සියලු දෙනාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ දිනුම් කණුව පසු කළේ වේගයෙන් ඇවිදිමින් මෙනි.
ගිනස් වාර්තා නිලධාරීන්ගෙන් ඔහුගේ වාර්තාව පිළිබඳව සහතික පත්‍රය ලබා ගැනීමට ප්‍රථම උසේන් බොල්ට් තරගයක් අවසානයේ ප්‍රදර්ශනය කරන ජනප්‍රිය ‘අකුණු’ ඉරියව්ව, ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කිරීමටද මියසාකී පියවර ගත්තේය.
පසුගිය මස චීනයේ බෙයිජින්ග් නුවර පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී උසේන් බෝල්ට්ගේ ආඩම්බරකාර ප්‍රකාශය ගැන විමසූ විට, නහය හකුළුවමින් සිනහවකින් මුව සරසාගත් මියසාකී’ ප්‍රකාශ කළේ ‘තවම එයා මාත් සමග තරග කරල නෑනේ” කියායි.
සියවස් සැපිරූවන්ගේ මීටර් 100 සඳහා ලෝක වාර්තාවට හිමිකම් කියන, දීප්තිමත් බබළන මුහුණකින් යුත් “මියසාකී” තදින්ම කියා සිටින්නේ “ජැමෙයිකානු යෝධයා” සමග සිහින තරගයට සහභාගි වීමට තවමත් හොඳටම කල්වේලා ඇති බවයි.
“මම තවම ඉතා ආශාවෙන් ඉන්නවා ඔහුට (බෝල්ට්) එරෙහිව තරග වැදීමට” තරගය ආරම්භ කරන පිස්තෝල සංඥාව නියමිත පරිදි නොඇසුණු හෙයින් ඉතා වටිනා තත්පර කිහිපයක් අහිමි කරගත් මියසාකී පවසයි.
“අවුරුදු දෙක තුනකට කලින් උසේන් බෝල්ට් ජපානයට පැමිණි විට මාව හමුවිය යුතු බව ඔහු පැවැසුවා. ඔහු දුරකථනයෙන් මාව සම්න්ධ කරගැනීමට උත්සාහ දරා ඇති අතර මා ගෙදර සිටියේ නැති නිසා. මාව හමුවෙන්නේ නැතිවම ඔහු පිටවෙලා ගිහින් තියෙනවා. එයින් මට විශාල කනගාටුවක් ඇති වුණා.”
සුප්‍රසිද්ධ “ටයිටැනික්” නැව සාදා අවසන් කොටවත් නැති, ජපානය හා කොරියාව අතර සුප්‍රසිද්ධ යුද්ධය ආරම්භ කළ 1910 වර්ෂයේදී මෙලොව එළිය දුටු “මියසාකී” තම ධාවන ජීවිතය ආරම්භ කොට ඇත්තේ සිය දිවි ගමනේ 90 වැනි සැතපුම් කණුවද පසුකර සිටියදී වීමද පුදුමාකාරය.
සචින්ත ද සිල්වා
0 comments:
Post a Comment