රුව ඇති දුවෙක් කියන්නේ පවුලකට වාසනාවක්. ලොකු දුවෙක් ඉන්නවාය කියන්නේ අප්පච්චිගේ ආදරේ ආඩම්බරකම කියන්න බැහැ. දවසින් දවස වැඩෙන ගැහැණු
දරුවෙක් ගෙදර ඉන්නවා කියන්නේ මව්පියන්ගේ හිතේ කැකෑරෙන අනියත බරක්. ගැහැනු ළමයෙක් වුණාම අපේ සංස්කෘතිය ඇතුළෙ කොටු වෙච්ච සීමා මායිම් තියෙනවා. මේ මායිම පැන්නොත්, සමාජයේ එවුන් කයිකතන්දර හදන්නේ හැරෙන සුනංගුවට.
උඹ කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනෙම නැහැ ගමේ ගෑනුන්ගේ කටවල් ඇරෙන්න. ඒත් සමහර දේවල් තේරුම් ගන්න තරම් උඹලා මේ සමාජයත් එක්ක තෙම්පරාදු වෙලා නැහැ. මොකද ඔය වයසට ජීවිත පාවෙන්නේ හීන කොදෙව්වක කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒත් ඇයි තරුණ ජීවිතවලටම දෝෂාරෝපණ නඟන්නේ. ඒ වැරදෙන ජීවිතවල අගිස්සෙම ඉන්නේ මව්පියන්. අම්මා, අප්පච්චිට ඔයාගෙ සමහර අවශ්‍යතා තේරුම් ගන්න බැහැ. හරියට ඒ අය හැසිරෙන්නේ තරුණ වයස පහුකරලා නැති ගාණට. දරුවො වෙනුවෙන් කොයිතරම් දුක් කන්දරාවක් දරාගෙන හිටියත් දරුවන්ගේ තාරුණ්‍යය තේරුම් ගන්න බැරි නම් ඒ දරුවො මිනීමරුවො, සල්ලාලයෝ වෙන්නේ ඉබේටම.
කටගොන්නක් බීගෙන ගෙදර එන තාත්තා පුතාට බොන්න එපා කිව්වට අහනවද? නැහැ. සමහර අම්මලා මගේ දුව, මගේ පුතා තමයි ලෝකේ හොඳම දරුවා කියලා සමාජය ඉදිරියේ පංපෝරි ගහනවා. හැබැයි ඒ දුවගේ ඉතිහාසේ හාරඇවිස්සුවොත් මව්පියන්ට පාරේ බැහැලා යන්න බැහැ. පුතා ගංජා ගහලා, කුඩු ගහලා ජීවිතේම විනාශ කරගත්තු එකෙක්.
අද ඉන්නේ ෆෝන් එකට රීලෝඞ් එක දාන්න රුපියල් පනහක් දුන්නේ නැති වුණාම කුණුහරුපෙන් ලෝකෙටම ඇහෙන්න අම්මට බණින දරුවෝ. මව්පියෝ මේ සමාජයේ මොන තරාතිරමේ කොයි තරම් ඉහළින් වැජඹුණත්, දරුවො අයාලේ යනවනම් හම්බකරන මුදල්, තාන්නමාන්න වලින් වැඩක් තියෙනවද?.
මේ තවත් එවැනිම අනුවේදනීය කථාවක්.
නුවර ප‍්‍රදේශයේ උසස් පාසලක විදුහල්පතිවරයෙක් වුණු ඉරුගල්බණ්ඩාර සහ ගුරුවරියක් වුණු ලලනිගෙත් හිතේ මල් පීදෙමින් මෙලොව එළිය දුටු නුවනි පවුලට එකතු වුණේ බාල දියණිය විදිහට. පුතෙකුගේ සිහිනය පෙරදැරිව සිටි ලලනි පුතෙකු වෙනුවට සිඟිති දියණියක් ලැබීම දෛවය මෙයමැයි කියා සිතා ගත්තීය.
කාලයත් සමග ගැහැනු දරුවන් තිදෙනෙකු උස්මහත් වූයේ ඉරුගල්බණ්ඩාරගෙත්, ලලනිගෙත් හිතට බලාපොරොත්තු හීන ගොඩගසමිනි.
‘‘මේ දරුවො තුන්දෙනා පොඩියටම හිටියනම් හොඳයි කියලා හිතෙනවා මහත්තයා’’
‘‘ගෑනු දරුවො තුන්දෙනෙක් කියන්නේ මොන තරම් හිතට බරක්ද?’’
‘‘ලොකු දරුවනම් අපේ දාඩිය මහන්සියට වටිනාකමක් දුන්නා.’’
‘‘කොහොම හරි ඒ දරුවා විශ්වවිද්‍යාලයේ ගියානේ’’
‘‘මද්දුමිත් කොහොම හරි වැඩ ටික කරගනීවි..’’
‘‘මට බය සූකිරි ගැනමයි මහත්තයා’’ කොයිවෙලේ බැලූවත් නැටිල්ලම විතරයි.
සූකිරි කියන ආදර නාමයෙන් ඇමතුවේ නුවනිටය. නුවනි කියන්නේ අක්කලා දෙන්නෙකුට මැදි වෙලා හුරතලේට හැදුන යුවතියකි. ලලනිත් වරදකදි වැඩිමල් දරුවො දෙන්නට තරවටු කළත් නුවනිට කෙදිනකවත් වචනයකින් හෝ සිත් රිදවීමක් කළේ නැහැ. නුවනි කියන්නේ ගෙදර පරිසරය ඇතුළේ ටිකක් වෙනස් චරිතයක්. ඇගේ සමහර හිතුවක්කාර ගති ඉහවහා ගියත් මව්පියන් නිහඬව සිටියේ ඇය ගෙදර සුරතලී නිසා. ඇයට ඇගේ ජීවිතයට වගකීමක් ගන්නට තරම්වත් ලලනි අවස්ථාවක් ලබා නොදුන්නේ ළමිස්සියෙක් වුණත් ලලනිට තවමත් ඇය සුරතලියක් වුණු නිසා.
නුවනි වැඩිපුරම ජීවත් වුණේ අන්තර්ජාල, ෆේස්බුක්, ස්කයිප්වල. අධ්‍යාපන දක්‍ෂතාව තිබුණත් ඇය අධ්‍යාපනයට වඩා ඇලූම් කළේ පාසලේ බාහිර වැඩවලට. නුවනි සාම්ප‍්‍රදායික පවුල් සමාජයක් තුළ හැදී වැඩුණත් අධ්‍යාපනය ලැබූ පාසල් පරිසරයත් සමඟ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට වඩා ඇය බටහිර පන්නයට දැඩි සේ ආකර්ෂණය වුණා.
ගුරුවරියක් වුණු ලලනි නුවනිගේ ක‍්‍රියා කලාපවලට එතරම් කැමැත්තක් නොදැක්වුවත් දකිනදකින විලාසිතා කිරීමට හඬා වැලපෙමින් මුදල් ඉල්ලා රණ්ඩු වූ අවස්ථා සුලබයි. ඒ හිතුවක්කාරකමින් දිනාගත් බොහෝ දේ ඇය ජීවිතයට ගත්තේ ජයග‍්‍රහණයක් විදිහට.
නුවනිගේ මුරණ්ඩු ගතිපැවතුම් තුළ ලලනි නුවනිට සැරවැර කළත් ඉන් ඇයගේ මුරණ්ඩු ගති තවතවත් වැඩිවීමක් මිස අඩුවීමක් වූයේ නැහැ.
‘‘අක්කලා දෙන්නෙකුට ඉගැන්නුවා උඹගෙන් වගේ මලවදයක් තිබුණේ නැහැ.’’
‘‘අතපය නොකඩා හදලා අන්තිමට උඹලගෙන් වචන අහන්නත් ඕන අපි’’
නුවනිට අම්මාගේ මේ වදන් උදේ සවස නිවස තුළ දමන බණ පටයක් හා සමාන වූවේය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට වඩා ඇයට දෙවරක් හැරී බලන්නට තරම් සුන්දර රූසපුවක් හිමි වීමත් සමග ඇය යහළුවන් අතර කැපී පෙනෙන චරිතයක් බවටද පත්වූවාය. පාසල් වියේ පේ‍්‍රමණීය ඇරියුම්ද ඇයට අමුත්තක් වූයේ නැත. තම මිතුරියන් ගැන්සියේ තනිකඩයකුට සිටියේ නුවනි පමණය. උපකාරක පන්ති නිමවී නුවර වැව පාරේ පෙම් සුව විඳින මිතුරියන් දෙස බලා සිටින නුවනිටද පේ‍්‍රමවන්තයකු සිටියා නම් කෙතරම් අගේදැයි හැඟිණි.
යෙහෙළියන්ද තමන් ඇද වැටුණු වළටම නුවනිවද ඇද දැමීමට ගත්තේ මහත් උත්සාහයකි. කාලයත් සමග කෙමෙන්කෙමෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩඉමට පැමිණිෙයේ කාලයාටත් නොදැනීමය. ඔය අතරතුර පේ‍්‍රමයේ දැලට හසුවූයේ සාමාන්‍යපෙළ කඩඉමට ඔන්න මෙන්න තිබියදීය.
සුපුන් නුවර ප‍්‍රදේශයේ රක්‍ෂණ නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, ඔහු නුවනි සමග මිතුරු වූයේ නුවනිගේ යෙහෙළියකගේ මාර්ගයෙනි. සුපුන් සමග හටගත් මිතුරුකමට දිනෙන් දින පේ‍්‍රමයේ මංපෙත් විවර වූයේ ඔවුන්ටත් නොදැනීමය. සුපුන් සමග මිතුරුවී ගතවූයේ මසකි. නුවනිගේ උපන්දිනය යෙදී තිබුණේද එකී දින කිහිපය ඇතුළතය. ඇයට සුපුන් උපන්දින තෑග්ග ලෙස අපූරු යෝජනාවක් ගෙනාවේය.
එදින සවස නුවර පිහිටි සුපිරි ගණයේ භෝජනාගාරයක ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඔහු ඇයගේ යෙහෙලියන්ට පුංචි සාදයක් පැවැත්වූයේ නුවනිවද මවිතයට පත්කරමිනි.
‘‘ඇයි මම වෙනුවෙන් මෙච්චර වියදම් කළේ’’
‘‘ඔයා මගේ පණ නිසා’’
සුපුන් මේ පෙන්වන්නේ සැබෑ ආදරයක්ද? මුළාවක්ද යන්න ඇයට නොව කිසිවෙකුටත් හඳුනාගත නොහැකි විය. බොහෝ දිනවලට උපකාරක පන්ති යන මුවාවෙන් සුපුන් සහ නුවනි ලැගුම්හල් තුළ මුණගැසිණි.
ඉරුගල්බණ්ඩාරගේ විදුහල්පතිකමවත්, ලලනිගේ ගුරවෘත්තියවත් නුවනි තුට්ටුවකට මායිම් කළේ නැත. ඇය ඇගේ ජීවිතය කර ගත්තේ තම පේ‍්‍රමවන්තයාය. එහෙත් මේ සමාජය පිළිබඳ අබමල් රේණුවකට තරම්වත් දෙයක් නොදත් ඇය තම ජීවිතය ඉතා සෝචනීය ලෙස අගාදයට ඇද දමනු ඇතැයි ඇය සිහිනෙන් වත් නොසිතුවාය.
උදෑසන නිවසින් පිටවී පාසල් යන දියණිය පාසල් නිල ඇඳුමෙන්ම හෝටල් කාමර තුළ පේ‍්‍රමවන්තයා සමග පෙම්සුව විඳින වග මව්පියන්ගේ හුස්මකටවත් නොදැනෙන්නට තරම් නුවනි සූක්‍ෂම වූවාය.
ඒ අතරතුර ඇයගේ අසාමාන්‍යය ශරීර ලක්‍ෂණ ලලනිගේ සිතට බරපතළ විදිහට නොදැනුණත් සාමාන්‍ය පෙළට මහන්සි වී නිදිවර්ජිතව පාඩම් කිරීමෙන් තෙහෙට්ටුවට යැයි ඇය සිතුවාය. නුවනි තම ශරීරයට දැනෙන අපහසුතා මැද්දේද පාසල් ගියද ඒ වන විට ඇය ගැබිනියක් වී ඇති බව ඇය දැන සිටියේ නැත.
එහෙත් ශරීරයට දැනෙන අපහසුතාත් සමග සුපුන් ඇයව වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් අනතුරුව ඇය ගැබිනියක බව හෙළි වූයේ නුවනිගෙත්, සුපුන්ගේත් ඉහමොළ රත් කරමිනි. ඇයට කිසිවක් කරකියා ගත නොහැකි විය.
‘‘ඔයා බයවෙන්න එපා අපි බබාව නැති කරමු’’
ඇය සුපුන්ට විවාහ වීමට කථා කළද සුපුන් ඊට තරයේම අකමැත්ත ප‍්‍රකාශ කළේය.
‘‘ඔයාට පිස්සුද, ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ නැතුව බඳින්නේ කොහොමද?’’
‘‘මම කොහොමද ගෙදර යන්නේ’’
‘‘ඔයා බය වෙන්න එපා’’
නුවනිට සුපුන්ගේ පාපතර ක‍්‍රියාවට යටහත් පහත් වන්නට සිදු වූයේ කිසිවක් කර කියාගත නොහැකි අසරණියක් විලසිනි. ඇය සිදුවන සියල්ල දරා සිටියේ යකඩ ගැහැනියක ලෙසය. නුවනි එයින්ද මට්ටු වූයේ නැත. ඒ සියල්ල ඉතිහාසයට වළ දමමින් ඇය සුපුන් සමග නැවත පේ‍්‍රමය අලූත් කළාය.
සාමාන්‍ය පෙළ කඩඉමට තවත් ඉතිරිව තිබුණේ මාස කිහිපයක් පමණි. එහෙත් ඇයගේ මනස දිව ගියේ විවිධ වූ ලෝකවලය. මනස්කාන්ත විකාරවලින් පිළිකුල් වුණු ඇයට තම මනස අධ්‍යාපනයට යොමු කිරීමට ගත් උත්සාහ වෙහෙස ව්‍යාර්ථ විය. විදුලි වේගයෙන් කාලය ගෙවී ගියේය. ඇය සුපුරුදු ලෙස බොහෝ අවස්ථාවල සුපුන් මුණගැසීමට ගියේ පාසල් යන අතරතුරය. දිනක් ඔවුන් ලැඟුම්ගෙන සිටි ලැඟුම්හල ක්‍ෂණිකව වැටලීමකට ලක් වූයේය. පාසල් නිල ඇඳුමෙන් සිටි නුවනි බාලවයස්කාර දැරියක ලෙස පොලිස් අත්අඩංගුවට පත්වූවාය. නුවනි හෙළිකළ පෞද්ගලික තොරතුරු අනුව පොලිස් නිලධාරියා ඇය ඉදිරියේම ඇයගේ මව ඇමතුවේය.
‘‘මිසිස් ඉරුගල්බණ්ඩාර, ඔයාගෙ දුව නුවනි ඉරුගල්බණ්ඩාර මේ වෙලාවේ ඉන්නේ පොලිස් භාරයේ. පොලිසියට ආවොත් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්.’’
දුරකථනය විසන්ධි කළ ලලනිට කිසිවක් හිතාගත නොහැකි විය. පාසලේ සිටම ඇය අදාළ පොලිස් ස්ථානයට ගියේ නුවනිගේ පියාටද දැනුම් දෙමිනි. සියල්ල සැකෙවින් ඇයට වැටහීමට ගතවූයේ තත්පර ගණනකි.
‘‘උඹ අපේ මූණේ දැලි ගෑවා. උඹේ අම්මා තාත්තා රෙද්දක් ඇඳන් පාරට බහින්නේ කොහොමද?’’
පොලිස් භූමිය පුරාම ලලනිගේ දරුදුක දෝංකාර දුන්නේය.
0 comments:
Post a Comment