සාක්ෂරතා හැකියාවෙන් අපේ රට බොහොම ඉදිරියෙන් සිටින බවට අපේ දේශපාලකයන් උදම් අනනවා. අපිත් ඒක ප‍්‍රතිරාවය කරන්න බොහොම කැමතියි. ඒ එයින් අපේ රටේ සිටින්නේ උගත් පිරිසක් කියලා හැඟීමක් ගම්‍යවන නිසා, ඒ නම්බුවෙන් කොටසක් අපට ද හිමිවන නිසයි. ඒත් උගත්කම තිබුණාටම කෙනෙක් බුද්ධිමත්ව හැසිරෙන්නේ නැහැ. බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නේ නැහැ. බුද්ධිමත්ව ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නේ නැහැ. උගත්කම හා බුද්ධිය කියන්නේ එකක් නෙවෙයි දෙකක්.
සාක්ෂරතා හැකියාවෙන් අපේ රට බොහොම ඉදිරියෙන් සිටින බවට අපේ දේශපාලකයන් උදම් අනනවා. අපිත් ඒක ප‍්‍රතිරාවය කරන්න බොහොම කැමතියි. ඒ එයින් අපේ රටේ සිටින්නේ උගත් පිරිසක් කියලා හැඟීමක්
පොතපත කියවලා, පාසල් අධ්‍යාපනයෙන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අපට ඉගෙනගෙන සාමාන්‍ය උපාධියක්, ආචාර්ය උපාධියක් වගේම මහාචාර්ය පදවියක් පවා ලබාගැනීමට හැකියි. නමුත් තමන් පොතෙන් පතෙන් ඉගෙන ගත්ත දේ, අත්දැකීමෙන් ඉගෙනගත්ත දේ අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි යොදාගෙන අපට මුහුණදීමට සිදුවන ගැටලූ විසඳාගැනීමට ඇති හැකියාව, සමාජය විග‍්‍රහ කරගැනීමට ඇති හැකියාව, මිනිසුන් තේරුම් ගැනීමට ඇති හැකියාව, ජීවිතයට මුහුණදීමට ඇති හැකියාව ඇති කරන්නේ බුද්ධියයි. ඉගෙන ගත්ත බොහොම දෙනෙක් මේ තමන්ට මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලූවකටවත් නිසි පිළිතුරක් සොයාගන්න බැරුව ජීවිතයෙන් පරාජය ලබනවා නම් ඒ උගත්කම කුමකටද?
අපේ මාතෘකාව අනියම් සම්බන්ධතා. මේ අනියම් සම්බන්ධතා සහ බුද්ධිය අතර තියෙන සම්බන්ධය කුමක්ද? අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ ඇයි? ඒවා වළක්වාගන්නේ කෙසේද? අනියම් සම්බන්ධතාවයක් නිසා පවුල් සංස්ථාව බිඳවැටෙන්නට යනවා නම් ඒ තත්ත්වය මගහරවා ගන්නේ කෙසේද? යන කාරණා තෝරා බේරාගැනීමට අපට දැනුම වගේම බුද්ධිය අවශ්‍යයි.
අපි දිගින් දිගටම කතා කළා අනියම් සම්බන්ධතාවක් ඇතිවීමට කිසියම් සමාජ ආර්ථික වටපිටාවක් බලපාන බව. බොහෝ දියුණු රටවල දික්කසාදය මහා ගැටලූවක් නෙවෙයි. ඒ වගේම වැන්දඹුවකට නැවත විවාහයක් කරගැනීමටත් ගැටලූවක් නෙවෙයි. නමුත් අපේ රටේ තවම ඒ තත්ත්වය ඇතිවෙලා නැහැ. විශේෂයෙන්ම දික්කසාද වූ කාන්තාවක දෙස මේ සමාජය බලන්නේ මහා අපරාධයක් කළ නැත්නම් තමන්ටම අපරාධයක් කරගත්ත කෙනෙක් දෙස බලන ආකාරයටයි. ඒ වගේම අපේ සමාජය තුළ එවැන්නියකට කිසිදු රැුකවරණයක් නැහැ. කාන්තාවන් පිළිබඳව අපේ සමාජයේ තිබෙන ආකල්පයන් ද මේ තත්ත්වයට බලපානවා. විශේෂයෙන් කාන්තාවක, තරුණියක, බඩුව, කෑල්ල ලෙස දැකීමට පුරුදු වුණ, පුරුදු කළ සමාජයක තවදුරටත් ඇය මනුස්ස දියණියක් ලෙස දකින්නන් සිටින්නේ ඉතා අඩුවෙන් වීම මේ තත්ත්වය තවත් උග‍්‍ර කරනවා. දරුවන් රැුකබලා ගැනීමට ඇයට තනිවම බැහැ. දරුවන් සමග කාන්තාවක දෙවැනි වතාවට විවාහ කරගැනීමට පිරිමියෙක් කැමති නැහැ. මේවා අපේ සමාජයේ තිබෙන ආකල්පයන් මත ඇතිවී තිබෙන තත්ත්වයන්.
මේ සියල්ල තුළ ඇයට තමන්ගේ විවාහය තිත්ත කසායක් වී ඇතත් දික්කසාදවීමට නොහැකි වී තිබෙනවා. තමන්ට සැමියාගෙන් නොලැබෙන ආදරය, රැුකවරණය, සොයාබැලීම, වෙනත් කෙනෙකුගෙන් ලැබෙන බවට දැනෙන්නට වුවහොත් ඇය ඔහු වෙත ළංවීම අරුමයක් නොවේ. එහෙත් දික්කසාදය තමන් තවදුරටත් අමාරුවේ දමන නිසා මේ තමන්ට ළංවන දෙවැන්නා සමග ගොඩනැගෙන ආදර සම්බන්ධතාව අනියම් සබඳතාවයක් ලෙස පවත්වාගෙන යාමට ඇයට සිදුව තිබෙනවා.
අපි අද කතාකරන්නේ බොහොම දැන උගත්, අතමිට යහමින් ඇති පවුලක අනියම් සම්බන්ධතා නිසා ඇතිවුණ පවුල් ආරවුලක් ගැනයි. මේ කතාව අපට ලැබුණේ මහරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි පොතෙන්. මහරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි තලගල මහතා අපට පැහැදිලි කළ පරිදි ප‍්‍රශ්නය මෙසේයි.
ස්වර්ණා විශ්වවිද්‍යාලයේ කලා උපාධියට ඉගෙන ගන්න කාලයේ දී තමයි වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්ත සුරංග හමුවුණේ. වෛද්‍ය පීඨයේ හිටියත් විශ්වවිද්‍යාලයේ කලා උළෙල බලන්න සුරංග ආවා. එතනදී ස්වර්ණාගේ හැකියාවන් දැක සුරංගගේ හිත ස්වර්ණා කෙරෙහි ඇදීගියා. මේ දෙසිත් එකිනෙකා කෙරෙහි ඇදී යාම ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ කරන්න හේතුවේවි කියලා එදා නොහිතුවත් සුරංග වෛද්‍යවරයෙක් වෙද්දීත්, ස්වර්ණා පරිපාලන සේවයේ නිලධාරිනියක් වෙද්දීත් ඔවුන්ගේ බැඳීම් අත්ඇරුණේ නැහැ. ඉගෙන ගෙන තමන්ගේ තත්ත්වයන්ට ගැළපෙන විවාහයක් තෝරගැනීම ගැන සතුටුවුණ දෙපාර්ශ්වයේම දෙමාපියන් ඊට ආශිර්වාද කරමින් ඔවුන්ගේ විවාහය ඉතාම උත්සවාකාරයෙන් සිදුකර දුන්නා.
ස්වර්ණාගේ සහ සුරංගගේ රැුකියා ස්ථාන කොළඹ ආශ‍්‍රිතව පැවති නිසා දෙදෙනා මහරගම ප‍්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන නව නිවසක් තනාගත්තා. එහි පදිංචි වී තමන්ගේම ලෝකයක තනිවන්නට ඔවුන්ට අවස්ථාව ලැබීම ගැන දෙදෙනාම සිටියේ සතුටෙන්. පළමු දරුවා ලැබෙන තෙක් ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා. සුරංග වෛද්‍යවරයෙක් නිසා ඔහුගේ ජීවිතය කාර්යබහුල එකක් බවට පත්ව තිබුණා. විශේෂයෙන් කොළඹින් ඉඩමක් ගෙන ගෙයක් හැදීම පහසු නැහැ. ඒ නිසා එය ඔවුන් සිදුකළේ බැංකු ණයක් අරගෙනයි. මේ ණය ගෙවීමට වගේම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය මුදල් ඉපයීමට සුරංග රජයේ රෝහලේ රාජකාරි නිමවීමෙන් පසු පෞද්ගලික සායනයක වැඩකරන්න පටන් ගත්තා.
ස්වර්ණා මුලින් මේ තත්ත්වයට එකඟ වුණේ, එය තම ආදායම වැඩිකරන නිසයි. ආදායම වැඩි කරගැනීම සමාජයේ තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගැනීමට ඉතාමත්ම අවශ්‍ය වුණා. ඒ සඳහා තමන්ගේ නිවස තවත් නවීකරණය වියයුතු බව ඇය දැක්කා. ඒ නිසා පෞද්ගලික සායනයක සේවය සැපයීමට සුරංග ගත් තීරණයට ස්වර්ණා විසින් එක්සිත්ව එකඟතාව පළකර සිටියාසේම ඊට උනන්දු කරවනු ද ලැබුවා. එහෙත් ටික කලක් යත්ම සුරංග කාර්යබහුල ජීවිතය නිමවා නිවසට පැමිණෙන්නේ තමන් නින්දට යන අවස්ථාව වනවිට වීමත්, ඔහුට ඇය සමග ගතකිරීමට කිසිදු විවේකයක් නොමැතිවීමත්, අවම වශයෙන් දරුවාගේ මුහුණබලා ඔහු සුරතල් කිරීමටවත් සුරංගට විවේකයක් නොමැතිවීමත් ගැන ස්වර්ණා සිටියේ අසතුටෙන්. මේ ගැන සුරංග සමග කතාබහ කිරීමට, අමාරුවෙන් හෝ සතියකට දවසක්වත් ගෙදර ඉන්න වෙලාවක් යොදාගන්න කියලා යෝජනා කිරීමට ස්වර්ණා උත්සාහ කළත් සුරංගගෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
‘‘විවේක ගන්නයි හම්බ කරන්නයි දෙකම එකපාර කරන්න බැහැනේ. අනික මම ගෙදර හිිටියත් ඒ වෙලාවට ඔයා නැත්නම් වැඩක් නැහැනේ’’.
ඒ වගේ වෙලාවට සුරංග දුන්නේ එහෙම උත්තරයක්. ඊට වඩා කතා කරන්න දෙයක් ස්වර්ණාට ඉතිරිවුණේ නැහැ. සුරංග කියනවා වගේ පරිපාලන සේවයේ රැුකියාවක නියුතු ස්වර්ණාට ද සමහර සෙනසුරාදා දිනවල දී වගේම ඉරිදා දිනයන්හිදී පවා රාජකාරි කටයුතුවලට සහභාගීවීමට සිදුවන අවස්ථා තිබෙනවා. ඒ නිසා සුරංග ගෙදර ඉන්න වෙලාවට ස්වර්ණා ගෙදර නැහැ.
”මම හවසට ගෙදර ඇවිත් ආපහු ක්ලීනික් එකට යන වෙලාවටවත් ඔයා ගෙදර නැහැනේ.”
සුරංග කිව්වා. දැන් ඉතිං තවත් කතා කිරීමෙන් පලක් නැහැ. සුරංග මේ දේවල් කිව්වේ ස්වර්ණා එක්ක තරහෙන් නෙවෙයි. මේ ඒකාකාරී ජීවිතය ඔහුව ද පීඩාවට පත්කර තිබුණා. නමුත් ඉටුකරගන්නට තිබෙන අහස උසට බලාපොරොත්තු දිහා බලනකොට මේ විදිහට වැඩ නොකරත් බැහැ. ඔවුන්ට දෙවැනි දරුවා ද ලැබුණා. ඒ දියණියක්. ඒ කියන්නේ වගකීම තවත් වැඩි කළා. එය තවත් වැඩිපුර හම්බකිරීමට බලකළා. දැන් නම් දෙන්නාටම මේ විවාහය යාන්ත‍්‍රික ජීවිතයක් බවට පත්කරන තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. අවසානයේ ස්වර්ණා රැුකියාවෙන් ඉවත් වුණා. ඒ දරුවන්ගේ රාජකාරි කරන්නට ද තමන්ට වෙලාවක් නැතිකම නිසා වගේම දරුවන් ගැන සොයාබැලීමට අවම වශයෙන් මව හෝ නිවසේ සිටීම වැදගත් යයි සිතූ නිසයි. ඒත් එයින් සුරංග මත පවුලේ බර සම්පූර්ණයෙන්ම පැටවෙනවා. ඒ නිසා ඔහු තව තවත් පෞද්ගලික සායනවලට යොමුවීම වැඩිවුණා.
සුරංග රෝහලේ රාජකාරි කරන අතර මේ පීඩාව, සිත්තැවුල ගැන කතා කළේ රෝහලේ වෛද්‍යවරියක සමගයි. ඇය නිතරම සුරංගට රෝහලේ දී හමුවෙනවා. සුරංගගේ දුක අසා මෙය සාමාන්‍ය තත්ත්වයක් බව පවසන මේ වෛද්‍යවරිය තමන්ට මුහුණදීමට සිදුව තිබෙන තත්ත්වයන් ද පවසනවා. දැන් දෙන්නාට දෙන්නාගේ සිත්තැවුල් කියන්නට කෙනෙක් සිටිති. ඒ නිසා ඔවුන් අතර හිතවත්කමක් දළුලා වැඩුණා. ඒ හිතවත්කම් ඔවුන් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගීමට පවා මුල්වුණා. ඊට පස්සේ සුරංගට ගෙදර නොහිටියත් රෝහලේ සිටින කාලවේලාව සිතට සහනයක් ගෙනදෙන කාලයක් බවට පත්වෙන්න පටන් ගත්තා. ස්වර්ණා සමග දැන් ඔහුට ඇත්තේ නීතිමය බැඳීම නිසා පවත්වාගෙන යන අනිවාර්ය ගනුදෙනුවක් පමණි. මේ තත්ත්වයන් සමග ස්වර්ණා සිටියේ සිත්තැවුලෙන්. මේ අතර සුරංගගේ අනියම් සම්බන්ධතාවයත් ස්වර්ණාට දැනගන්නට ලැබෙනවා. ඒ නිසා ස්වර්ණා හා සුරංග අතර නිතර අඩදබර ඇතිවෙන්නට පටන් ගත්තා.
සුරංගට තමන්ගේ දේවල් කියන්නට කෙනෙක් හිටියත් දැන් ස්වර්ණාට එවැන්නෙක් නැහැ. රැුකියාවට යන කාලයේ සිටි මිතුරියන්ට වුණත් සැමියාගේ අනියම් සම්බන්ධය ගැන කියන්නට හැකියාවක් නැහැ. එය තමන්ට මදිපුංචිකමක්. ඒ වගේම දෙමාපියන්ට ද මේවා කියන්නට බැහැ. එය ඔවුන් අතර තම සැමියා පහත් තත්ත්වයට ඇද දැමීමක් වෙනවා. ඒ නිසා සියල්ල තමන්ගේ හිත තුළම දරාගැනීමට ඇය උත්සාහ කළා. දරුවන්ගේ රාජකාරීවලට සුරංගගෙන් දැන් කිසිම සහයක් නැහැ. හැමදේටම ස්වර්ණාට යන්නට සිදුව තිබෙනවා. ඒ ගමන්බිමන් යන්නට සිදුව තිබෙන්නේ කුලී රථවලිනි. ඇය නගරයේ දැන හඳුනාගත් ත‍්‍රිරෝද රථයක් නිතර තමන්ගේ ගමන්බිමන්වලට යොදාගත්තා.
මේ පවුල අතමිට සරු පවුලක් බව දැනගත් තරුණ ත‍්‍රිරෝද රථ රියදුරා පවුලේ විස්තර ද සොයා බැලූවා. ඒ අනුව මේ තරුණ කාන්තාව තමන් වසඟයට ගෙන මුදල් කඩාවඩා ගැනීමට ඔහු සිතුවා.
”නෝනා ගෙදර වාහනයක් තියෙනවා නේද?”
”අනේ මහත්තයා ඒකේ ගියාම අපිට යන්න වෙන්නේ හයර් එකට මොකක් හරි අරගෙන තමයි. එයාට කිසිම විවේකයක් නැහැනේ මේ වැඩවලට. හස්බන්ඞ් ඩොක්ටර් කෙනෙක්නේ.”
”අපෝ ඩොක්ටර්ස්ලට මොන විවේකයක්ද? අපිට වුණත් එහෙම තමයි. උදේ ගෙදරින් ආවාම මහ ? දොළහ විතර වෙනකම් පාරේ කට්ට කනවා. මොනවා කරන්නද නෝනා ලබා උපන් හැටිනේ.”
”මම හිතුවා මේ ප‍්‍රශ්න අපිට විතරයි කියලා.”
මේ විදිහය පටන්ගත්ත දැන හැඳුනුම්කම් කතාබහ ටිකින් ටික දුරගියා. සමහර දවස්වල ගෙදර අඩදබර නිසා ස්වර්ණා හිටියේ මුහුණ නොරොක් කරගෙනයි. ත‍්‍රිරෝද රථ රියදුරා මේවා හොඳින් නිරීක්ෂණය කළා.
”නෝනා අද නම් ලොකු ප‍්‍රශ්නයක් වගෙයි. මොකද දොස්තර මහත්තයාත් එක්ක රණ්ඩු කළාවත්ද?”
”කියලා වැඩක් නෑ ජගත්. සල්ලි තිබුණත් අපිට ජීවිතයේ සතුට නැහැ.”
”ඇයි දොස්තර මහත්තයා වෙන පැත්තක්වත් බලලාද?”
ඇය ඊට එකවර පිළිතුරු දුන්නේ නැහැ. එයින් ගම්‍ය වන්නේ එය සත්‍යයක් බව දැනගත් ත‍්‍රිරෝද රථ රියදුරු ජගත් ස්වර්ණාගේ හිත සනසවමින් කතාකළා. ඉන්පසු දිගින් දිගටම ජගත් සමගම ගමන්බිමන් ගිය ස්වර්ණා ජගත් සමග තමන්ගේ දුක සැප කියන්නට ද පුරුදුවුණා. දැන් කුලී ගමන් යාම සඳහා එන ජගත් ස්වර්ණාගෙන් තේ එකක් බීලා යන්නට ද අමතක කළේ නැහැ. මේ තත්ත්වය ඔවුන් අතර අනියම් සම්බන්ධතාවක් නිර්මාණය කිරීමට මගපෑදුවා. පිටතට මේ සම්බන්ධය කුලී ගමන් යන ගනුදෙනුකරුවකුගේ හා කුලී රථ රියදුරකුගේ සම්බන්ධතාවයක් විදිහටයි පෙනුණේ. ඒත් ඔවුන් දැන් අඹුසැමියන් ලෙස ගතකිරීමට කවුරුත් දවාලට නැති මේ නිවස පත්කරගෙන තිබුණා.තාප්පවලින් වටවුණ නිවාස සහිත නගරයේ අසල්වැසියන්ට මෙය රහසක් වුණත් වැඩිකලක් නොගොස් සුරංගට මෙය ඉවවැටුණා. තමන් අතේ වරදක් ඇති සුරංගට මෙය කදිම අවස්ථාවක් බවට පත්වුණා ස්වර්ණාගෙන් ඈත්වීමට. එයින් දරුවන්ට ඇතිවෙන තත්ත්වයන් ගැන හෝ වෙනත් කිසිවක් නොසිතූ මේ දෙදෙනා එකිනෙකාගේ වැරැුදි කියමින් නිතර අඩදබර කරගත්තා. අන්තිමට එය නතර වුණේ පොලිස් පොතේ සටහනක් තබමිනුයි.
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න.)
මේ පිළිබඳව අදහස් දැක්වූ මහරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි තලගල මහතා:
අද මහරගම තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි මේ ත‍්‍රිරෝද රථ රියදුරන් සමග ඇතිවන අනියම් සබඳතා. ඔවුන් බොහොමයක් පිට පළාත්වලින් ආපු අය. ඒ අය බලන්නේ සල්ලිකාර කාන්තාවන් අල්ලාගෙන කඩාවඩා ගන්නයි. මේවා තේරුම් නොගන්න කාන්තාවන් තමන්ගේ ප‍්‍රශ්න කියන්න මේ කුලී රථ රියදුරන් තෝරාගන්නවා. තේරුම් ගන්න ඕන කාරණා දෙකක් මෙතන දී මම දකිනවා. එකක් තමන්ගේ ගමන්බිමන් යන්න එකම කුලී රථ රියදුරෙක් යොදාගැනීමෙන් වැළකිය යුතුයි. අනික තමයි නන්නාඳුනන අයට විශේෂයෙන්ම තමන්ගේ මට්ටමට නොගැළපෙන අයට පවුලේ ප‍්‍රශ්න කියාසිටීමෙන් වැළකිය යුතුයි. මේ පවුලේ දෙන්නාම හොඳට අධ්‍යාපනය ලබලා තිබුණත් මේ දේවල් තේරුම් කරගන්න තරමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා අවසානයේ ලොකු ප‍්‍රශ්නයක් ඇතිකර ගත්තා.
නැවතත් අපි කලින් කියපු දේවල්ම මතක් කරන්න සිදුවෙනවා. මේ තරගකාරී සමාජය තුළ පිරිසක් අතමිට කාසිපනම් නැතිකම් නිසා දුක් විඳිනකොට ඇතිවෙන ප‍්‍රශ්න නිසා අනියම් සබඳතා ඇතිවෙනවා. ඒ වගේම සමාජයේ වටිනාකම් වෙනුවෙන් තමන්ගේ තත්ත්වය රැුකගැනීම සඳහා මුදල් තිබුණත් මදි කියලා දැනෙන ඒ නිසාම තව තවත් හම්බකරන්න වෙහෙසෙන අයගේ පවුල්වල පවුල් සබඳතා පවත්වාගෙන යාමට වෙලාවක් නැතිකම් නිසා ප‍්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා ඒ පවුල්වලත් අනියම් සබඳතා ගොඩනැගීමට ඉඩකඩක් විවර වෙනවා. මේ සියල්ලම පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ නිර්මාණය වන ප‍්‍රශ්න බව ඔබට වැටහෙනවා ඇති. උගත්කමක් තිබුණත් බුද්ධියෙන් තමන් යායුත්තේ කොතැනටද කියලා තීරණය කරගන්න බැරිකම, මේ සමාජය ගමන් කරමින් තියෙන්නේ කොතැනටද යන්න තෝරා බේරාගැනීමට නොහැකිවීම මෙවැනි ප‍්‍රශ්න තව තවත් පොලිස් පොතේ ලියන්න හේතුවෙනවා ඇති. එහෙම නම් කළයුත්තේ කුමක්ද? සිතන්න. තව තවත් සිතන්න.
0 comments:
Post a Comment