ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා

කොබෙයිගනේ ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු
සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් බෝතලයකට රැවටුණු ප‍්‍රදේශවාසීන් කළ මහත් කලබලයෙන් වනජීවී නිලධාරීහු සහ පොලිසියද මහත් අපහසුතාවකට පත්වූහ. 
ඉකුත්දා (4) ප‍්‍රදේශයට ඇද හැළුණු මහා වැස්සත් සමග කොබෙයිගනේ, යකඩපත, කුඩාඔය ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. කුඩාඔය හරහා ප‍්‍රධාන මාර්ගයේ ඇති කුඩා පාලම යට ජලකඳ සමග අපද්‍රව්‍යද සිරවිණි.
ගම්මුන් පාලම යට බැලූ අවස්ථාවේ සිරවී ඇති කොල රොඩු අතර අලි පැටවකු සොඬක් සොලවන අයුරුද දුටුවේය. වහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ටද පොලිසියටද දැනුම් දුන්නේ වහා අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමටය. සිද්ධිය කටින් කට පණිවිඩ ඔස්සේ ප‍්‍රදේශය පුරා පැතිර ගියේය. සුළු වේලාවකදී මහා සෙනඟක් ස්ථානයට රැස්විය. නිකවැරටිය, වනජීවී කාර්යාලයේ නිලධාරින්ද වහා ස්ථානයට පැමිණියේ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහාය. ඔවුහු සිද්ධිය නිරීක්ෂණය කළහ.
පාලම යට කොළරොඩු සමග සිරවී ඇත්තේ විශාල ප‍්‍රමාණයේ පැණිබීම හිස් ප්ලාස්ටික් ගුරු පැහැති බෝතලයක් බවත් එය ජල පහරට සෙලවීම නිසා පෙනෙන දර්ශනයක් බවත් රැස්ව සිටි ජනතාවට පැවසීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. අලි පැටියා බේරාගැනීමට විශාල ජනතාවක් එතැනට රැුස්ව සිටි බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment