විවාහයෙන් පසු මනාල යුවළ කපුවාගේ කනෙන් රිංගන්න හදලා


මඟුල් කපුවකුගේ මැදිහත්වීමෙන් විවාහ වූ යුවළ කපු ගාස්තු නොගෙවා මගහරිමින් සිටින බවත් මෙම යුවළගෙන් තමන්ට අයවිය යුතු ගිවිස ගත් මඟුල් කපු ගාස්තුව ඉල්ලා දෙන්නැයි දඹුල්ල ප‍්‍රදේශයේ මඟුල් කපුවකු දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


තමන් මෙම මඟුල් කපුකම සිදුකර මාස හයක් ගත වී තිබෙන බවත් එම යුවළ කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් කපු ගස්තුව ඉල්ලා අවස්ථා ගණනාවක් ගියද එම යුවළ මුදල්දීම මඟ හරින බව කපුවා කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

එක් පාර්ශ්වයකින් රුපියල් 15,000ක් බැගින් රුපියල් 30,000ක මුදලකට මෙම ජෝඩුව එක්කළ බවත් මෙතෙක් තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවත් ගමන් බිමන් සඳහා තමන්ට විශාල මුදලක් වියදම් වූ බව ද කපු මහතා කියා සිට ඇත.

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියශාන්ත බණ්ඩාර මහතා විසින් මෙම යුවළත් කපුවාත් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී ජෝඩුව කියා ඇත්තේ මේ දිනවල තමන්ට ආර්ථික අපහසුතා ඇති නිසා මුදල ගෙවා ගැනීමට අපහසු බවයි.

කපු ගාස්තුව ගෙවීමට කාලයක් අවශ්‍ය බවද දෙපළ කියා ඇත. පසුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත කොටස් වශයෙන් කපු ගාස්තුව ගෙවීමට එකඟතාවයෙන් ගෙවීමද සිදු කැර සෙසු වාරික කඩිනමින් නොවරදවා ගෙවන බව පොරොන්දු වී පිරිස පොලිස් පොතේ අත්සන් තබා පිටව ගොස් ඇත. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment