මගේ මහත්තයත් තරමක් දුරට රමන් වගේ

‘මේ ආදරයයි‘ ටෙලි නාට්‍යයේ ඉෂිතාට හඬකවන ජනප්‍රිය නිළි ඉරේෂා ලක්මාලි



Iresha
සතියේ දින පහේම රාත්‍රී 9.30ට සිරස නාලිකාවේ විකාශය වන ‘මේ ආදරයයි‘ ටෙලි නාට්‍යය අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක්  දිනාගත් ටෙලි නාට්‍යයකි. මෙහි රමන්ගේත් පුංචි රුහිගේත්  අතරට
මැදිවූ අහිංසකාවිය ඉෂිතා ‘මේ ආදරයයි‘ නරඹන්නන්ගේ ආදරය දිනාගත් චරිතයක් වී සිටී. ‘යේහී මොහාබත්’ නමැති ඉන්දියානු ටෙලි නාට්‍යය ‘මේ ආදරයයි‘ නමින් අපේ ආලින්දයට ළං වනවිට ‘දිව්‍යංකා ට්‍රිපාලි‘ රඟපෑ ඉෂිතාගේ චරිතයට සිංහල හඬ කවා එය අපේම බවට පත් කළ ශිල්පිනිය ඉරේෂා ලක්මාලියි. ගුවන් විදුලි හා රූපවාහිනි රංගන ශිල්පිනියක ලෙසත් ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදිකාවක ලෙසත් සිය දස්කම් මතුකළ ඉරේෂා අද වන විට ඉෂිතා ලෙසින් ලැබූ අසීමිත ජනප්‍රියතාව නිසා ඇගේ තොරතුරු දැන ගැනීමට ලැදි  පිරිස් බොහෝ සිටිති. ඒ නිසාම ඉරේෂා කතාබහකට එකතු කරගන්නට අපි සිතුවෙමු.
මුලින්ම අපි ඉරේෂාගේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි.
මගේ ගම් පළාත කුරුණෑගල. හැබැයි අපි ජීවත්වුණේ නම් මීගමුවේ. මම ඉගෙන ගත්තේ මීගමුව හරිශ්චන්ද්‍ර විදුහ‍ලේ. 8 වැනි වසරේ ඉගෙන ගන්න කා‍ලේ ගුවන් විදුලියේ ළමා පීඨයේ පරීක්ෂණයට අපේ දහම් පාස‍ලේ ළමුන් කණ්ඩායමක් යොමු කළා. එම පරීක්ෂණයෙන් සමත් වුණේ මම විතරයි. ළමා පිටිය මෙහෙයවූ මහින්ද අල්ගම මාමා තමයි මගේ කලා දිවියේ ගුරුවරයා.
ඉන්පසුව ඔබ මාධ්‍ය ක්ෂේත්‍රය හා කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් ආවා.
මුලින්ම මම ළමා නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඉන්පසුව ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් වුණා. ඉන්පසු රූපවාහිනියට සම්බන්ධ වෙලා ‘උඩරට මැණිකේ’, ‘නුගසෙවණ’ ඇතුළු වැඩසටහන් රැසක් කළා. ඔය අතරේ තමයි හඬකැවීම්වලට එකතු වුණේ. ‘ගිරිපුර ඇත්තෝ කාටුනයේ ඩොටී, ‘ටුවිටි බර්ඩ්’ කාටුනයේ ‘ටුවිට් බර්ඩ්’, ‘මහගෙදර’ නාට්‍යයේ තුල්සිගේ දියණිය ‘ශෝභා’ යන චරිතවලට හඬකැවීම් සැපයුවා. ඉන්පසුව තමයි ‘මේ ආදරයයි‘ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.
ඉරේෂා ටෙලිනාට්‍ය නිළියක්?
ඔව්. ‘ජීවිතය ලස්සනයි‘, ‘ගජමුතු’, ‘සිරිකාරි’, ‘හුංගාරේ අංගාරේ’, ‘ඊ බේ්‍රක්’, ‘ධුලි පින්තාරූ’ යන ටෙලිනාට්‍යවල රඟපෑවා.
මේ කතාබහට ‘ඉෂිතා’ ගැනයි ‘මේ ආදරයයි‘ ටෙලිනාට්‍යය ගැනයි කතා නොකළොත් ලොකු අඩුවක්.
‘මේ ආදරයයි‘ මමත් හරිම ආශාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්. ඉෂිතාගේ චරිතයට ඇත්තටම මමත් හරිම කැමතියි.
කොහොමද ඉෂිතාට හඬකැවීමට ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මාව දන්න අය මට කතා කරලා කතාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා අහනවා. ඒ වගේම තමයි මගේ සමහර යාළුවෝ මට කතා කරන්නේ ඉරේෂා කියල නමෛයි ‘ඉෂිතා’ කියලා.
රමන් ගැන මොකද හිතන්නේ?
බැලු බැල්මට රමන් කියන්නේ හරිම රළු චරිතයක්. ඒත් ඒ චරිතය හොඳින් බැලුවම පෙනෙනවා, තමන්ගේ දරුවා බිරිඳ වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කරන කෙනෙක් බව. ටෙලි නාට්‍යය නරඹන රසිකාවියක් විදියට මට හිතෙනවා ඉෂිතා ටිකෙන් ටික රමන්ට ලැබෙන්නේ තමන් ගැන තියෙන කැපවීම හින්දා කියලා. මොනතරම් රළු ගති තියෙන මනුස්සයෙක් වුණත් තමන් ගැන හොයා බලනවා නම් තමන්ට ප්‍රශ්නයක් වුණු වෙලාවට ඉදිරිපත් වෙනවා නම් බිරිඳක් ඒ වගේ සැමියෙකුට කැමතියි. මම එහෙම කියන්නේ ‘අනේ මටත් රමන් වගේ සැමියෙක් ලැබෙනවා නම්’ කියලා මගේ සමහර යාළුවෝ කියන හින්දයි.
ඉෂිතත් හොඳ බිරිඳක් නේද?
ඉෂිතා හොඳ බිරිඳක් වගේම හොඳ ගැහැනියක්. ඈ තුළ යහපත් ගතිගුණ රාශියක් තියෙනවා. රළු ගතිගුණ තියෙන මනුස්සයෙක් ටිකෙන් ටික සංවේදී කෙනෙක් කරගන්න ඉෂිතා වගේ බිරිඳකට පුළුවන්.
ඉරේෂත් සැබෑ ජීවිතයේ ඉෂිතා වගේලු නේද?
හැබැයි ඔය ප්‍රශ්නෙ නම් අහන්න ඕනෑ මගෙ මහත්තයගෙන්.
මහත්තයා රමන් වගේද?
රමන්ට තරම් මගෙ මහත්තයට කේන්ති යන්නේ නම් නැහැ. හැබැයි මගේ මහත්තයත් මං ගැන හරියට හොයලා බලනවා. මට ප්‍රශ්නයක් වුණු හැටියේ ඒකට විසඳුමක් හොයන්න ඉදිරිපත් වෙනවා. ඒ ගතිගුණවලින් නම් එයත් එක්තරා දුරකට රමන් වගේ තමයි.
ඉරේෂාගේ පවුල් ජීවිතයේ තොරතුරු ටිකකුත් කියන්න?
මගෙ සැමියා මලින්ද සිරිමාන්න. එයා විද්‍යුත් නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ සේවය කරනවා. අපේ පුංචි දූ මිනුලිට දැන් වයස මාස අටයි.
ටෙලිනාට්‍යවල අපි පෙම්වතුන් දකිනවා. ඒත් රමන් හා ඉෂිතා අතර අපි දකින ආදරය ඊට වඩා වෙනස්.
ඒක ඇත්ත රමන්ට මුලදි ඉෂිතාව පේන්න බැහැ. ඉෂිතාටත් ඒ වගේමයි. ඒත් කාලයත් එක්ක දෙන්නා ටික ටික හිත්වලින් ළං වෙනවා. දෙන්නා අතර තියෙන බැඳීම රූහි. ඒත් රමනුයි ඉෂිතයි ළං වෙන්නේ රූහි හින්දමත් නමෛයි. දෙදෙනාගේ ගැළපීම හින්දා. රමන්ට ගැළපෙනම ගැහැනිය තමයි ඉෂිතා. ඉෂිතට ගැළපෙනම පිරිමියා රමන්. ගැළපෙන දෙදෙනෙක් මුලදි සතුරන් වගේ හිටියත් කාලයත් එක්ක දෙන්නට දෙන්නා ළං වෙනවා. දෙදෙනාටම ළං වෙන්න ආදරය වගේම ගැළපීමත් වැදගත් කියලා තමයි රමන් හා ඉෂිතා දිහා බලද්දී මට නම් හිතෙන්නේ.
ආරියවංශ කුලතිලක
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment