කලා ලෝකේ උදවිය සිංහල අවුරුදු සමරන්න එකතු වුණේ මෙහෙමයි


එරබොදු මල් පිපිලා. කොහාගේ ගී හඬ හතර පැත්තෙන්ම ඇහෙනවා. රබන් සුරල් නාදයත් ඊට එකතු වෙලා. අලුත් අවුරුද්දක අසිරිය තමයි හැම පැත්තෙන්ම ඇහෙන්නේ.අවුරුද්ද පුරාම ජීවිතයේ දාහක්
රාජකාරි එක්ක එකතු වෙලා හෙම්බත් වුණ අය අලුත් අවුරුද්දක් එක්ක එකතු වෙලා, අවුරුදු අසිරිය විඳගන්නට සැදී පැහැදී ඉන්නවා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන කතා කරද්දි අද නවීන ලෝකය තුළ එදා තිබූ චාරිත්‍ර වාරිත්‍ර නැති බව, අපේ ජන සංස්කෘතිය තුළ තිබූ අවුරුදු සිරිත් විරිත් අවුරුදු ක්‍රීඩා අද වන විට ගිලිහී ගිහින් ඇති බව බොහෝ පැරැන්නන් කියන දෙයක්. ඒ වුණත් තවම සිංහල අවුරුදු කාලෙට ගමින් ගම පවත්වන “අවුරුදු උත්සව“ කොට්ට ‍පොර, කණාමුට්ටිය බිඳීම ඇතුළු අපේ ජන ක්‍රීඩා අංග ඇතුළත්  කරමින් අපේ ගම මතු කරන අවස්ථාවක් විදියට දකින්න පුළුවන්.

අපේ කලා ලොවේ ජනප්‍රිය තරු එකට එකතු වෙලා පවත්වන අවුරුදු උත්සවයක්  ගැන තොරතුරු ටිකක් කියන්න මේ සූදානම් වන්නේ සැබැවින්ම එය සුවිශේෂී අත්දැකීමක් හින්දමයි. දෙරණ නාලිකාව අවුරුදු පතා  පවත්වන කලාගමේ  අවුරුදු උත්සවය තුළින් මේ අසිරිමත් අත්දැකීම විඳින්නට අවස්ථාව අපි හැමෝටම උදාකළා. පුරුදු විදියටම දෙරණ නාලිකාව මේ අවුරුද්දේත් මෙම දැවැන්ත කාර්ය භාරයක් දියත් කළා. ලංකාවේ ප්‍රවීණ හා නවක කලාකරුවන් සියල්ලම එක තැනකට ඒකරාශි කරලා පවත්වන මෙම අවුරුදු උත්සවයට අපේ සුපුරුදු ජන ක්‍රීඩා අංග රාශියක් ඇතුළත් වුණා.
ඒ 2015 මාර්තු මාසේ 28 වැනිදා.
එදින පිලියන්දල “සුළඟ වත්ත” ට දිදුලන තරු රැසක් ඒකරාශි වුණා. උදේ ඉඳන් දවස පුරාම මේ විචිත්‍රවත් තාරකා මේ බිම් තීරුවේ ඒ මේ අත සැරි සරමින් යුහුසුළුව විවිධාකාර තරගවලට මුහුණ දුන්නා. තරග අංශ 14 ක් මෙම අවුරුදු උත්සවයට ඇතුළත් වුණා. මේ තරග සඳහා සහභාගි වුණේ ජනප්‍රිය කලාකරුවන්. මේ අය තරග වැදුණේ ජයග්‍රහණය ලබනවාමයි කියන අදහසින් නමෛයි. හැමෝටම තිබුනේ තමන්ගේ සහෝදර කලාකරුවන් එක්ක එකට එකතු වෙලා සතුටින් සැහැල්ලුවෙන් මේ කටයුතු වලට එක්වීම. ඒ හින්දම  මේ හැම ක්‍රියාවක්ම විනෝද ක්‍රීඩාවක් වුණා.
ඕනෑම අවුරුදු උත්සවයක තියෙන විශේෂිතම අංගය තමයි, අවුරුදු කුමරිය තරගය, රුවැත්තියන් අතුරින් සුරූපිනිය තෝරන මේ තරගය අවුරුදු උත්සවයක අනිවාර්ය අංගයක්. මෙම අවුරුදු උත්සවයේත් මෙම තරගය පැවැත්වුණා. ඒත් එය පැවැත්වුණේ සුවිශේෂ අංගයක් විදියට.

අවුරුදු උත්සවය පුරා පැවැති තරග අංශ 14 ටම සහභාගි වුණේ අපේ කලා ලොවේ ජනප්‍රිය අය බව මුලිනුත් සඳහන් කළානේ. ඒත් අවුරුදු කුමරිය ලෙස අබිසෙස් ලැබිමේ වරම උදාවුණේ රට පුරා විහිදී සිටින රුවැත්තියන්ට. මේ සඳහා ඉදිරිපත් වන්නට කැමැති අයට අවස්ථාව ලබාදෙන බව දෙරණ නාලිකාව නිවේදනය කළා. ඒ අනුව රටපුරා විහදී විසිරි සිටින නව යෞවනියන් 300 කට අධික ප්‍රමාණයක් මීට අයැදුම් කළා. ඒ අතුරින් තෝරාගනු ලැබූ රුවතියන් 12 දෙනාට තමයි අවසන් වටයට සහභාගි වීමේ වරම හිමිවුණේ. මාර්තු 28 වැනි දින දවස පුරා පිළියන්දල “සුළඟ වත්තේ” අපි අර මුලින් සඳහන් කළ අවුරුදු උත්සවය පැවැති අතර 29 වැනිදා තමයි අවුරුදු කුමරිය තේරීමේ  තරගය පැවැත්වුණේ.
රටපුරාම මේ දිනවල විවිධ ආකාරයේ අවුරුදු උත්සව පැවැත්වෙනවා. ඒ අතර කලාලොවේ සෑම සියලු දෙනාම එකට එකතු වෙලා  පවත්වන මේ අවුරුදු උත්සවය විශේෂ එකක්. ඒත් ඉතින් රටේම ඉන්න හැම දෙනාටම මේ අවස්ථා සජීවීව දැක බලා ගන්න ඉඩ ලැබුණේ නැහැනේ. ඒත් අප්‍රේල් මාසෙ 14 වැනිදා පෙරවරු 8.30 සිට දවල් 12 දක්වා දෙරණ නාලිකාව ඔස්සේ මෙය විකාශය වන්නේ ඒ අසිරිමත් අත්දැකීම ඔබටත්  දැක බලා ගන්නයි.
ආරියවංශ කුලතිලක
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment