පෙම්වතියක්, පෙම්වතෙක් මිලදී ගත හැකි චීනයේ අන්තර්ජාල වෙළෙඳාම...

Chinese-woman
'සල්ලි දෙවියන්ගේ මල්ලි' යැයි කියන්නේ සල්ලිවලින් අපූරු දේවල් කළ හැකි නිසාය. නමුත් සල්ලි යනු වටිනාකම මනින ඒකකයක් පමණි. මෑත අතීතයේ සිටම සල්ලි හෙවත් මුදල් නමැති ඒකය ඔස්සේ භෞතික වස්තුවල වටිනාකම මැනීමට අපි පුරුදුවී සිටිමු. නමුත් දෙවියන්ගේ මල්ලි නොහොත් මුදල්වලින් වටිනාකම
මැනීමට නොහැකි දේවල්ද ලෝකයේ පවතී. අමිල හෙවත් මිල කළ නොහැකි දේවල් යනුවෙන් හඳුන්වන්නේ ඒවාය. සෙනෙහස, කරුණාව, පරිත්‍යාගශීලීකම හා මනුස්සකම වැනි මානව ගුණධර්ම හැරුණු විට ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය අයිති වන්නේත් මේ කියන්නා වූ අමිල ගනයටයි. හේතුව මුදල්වලින් ඔබට ආදරවන්තයකු හෝ ආදරවන්තියක් මිලදී ගැනීමට නොහැකි වීමයි.
නමුත් අවාසනාවට අද වනවිට මේ තත්ත්වය හාත්පසින්ම වෙනස්වී ඇත්තේ අන්තර්ජාලය හරහා පෙම්වතෙක් හෝ පෙම්වතියක් මිලදී ගැනීමට හැකි සේවාවක් චීනය විසින් හඳුන්වා දීමත් සමගය.
ලෝක ආර්ථිකයේ ඉදිරිපෙළේම සිටින රටක් වන චීනය යනු අන්තර්ජාල වෙළෙඳාම ඉතා දියුණු මට්ටමක පවතින රටකි. ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපළේ හිමිකාරීත්වය දරන චීනය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉඳිකටුවේ සිට යානවාහන දක්වා සියලුම දේ මිලදී ගැනීමේ හැකියාව පවතී. කෙසේ වුවත්, චීනයේ දැවැන්තම අන්තර්ජාල වෙළෙඳපළ වන බචධඡචධ.ජධථ නමැති වබේ අඩවිය විසින් හඳුන්වා දී ඇති නවතම සේවාව වන්නේ අන්තර්ජාලය හරහා ෙදෙනික මුදල් ගෙවීමේ ක්‍රමයට මනඃකල්පිත පෙම්වතෙක්/පෙම්වතියක් මිලදී  ගැනීමේ පහසුකමයි.
ඇසූ පමණින් ගැටලු ගණනාවක් ඔබේ හිතේ ඇති කරවන මේ අපූරු සේවාව චීන අන්තර්ජාල වෙළෙඳාම තුළ නව වෙනසක් ඇති කළ පියවරකි. කෙසේ වුවත් මේ සේවාව ඔස්සේ සිදුකරන්නේ පාරිභෝගික අවශ්‍යතාවට ගැළපෙන පරිදි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් මිලට ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ලබා දීමයි. නමුත් මිලදී ගැනීම් සිදුකිරීමේදී පාරිභෝගිකයා යම්කිසි සීමාවන් කීපයකට යටත්විය යුතුය. ප්‍රථමයෙන්ම ඔබ මිලදී ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය සීමා වන්නේ පරිගණකයට හෝ දුරකථනයට පමණි. බාහිර ලෝකයේ ඔබ හා සම්බන්ධ වීමේ හැකියාවක් මේ ඔස්සේ නොලැබෙන අතර සේවා සපයන්නාගේ රාජකාරිය වන්නේ උදෑසන 8.00 සිට රාත්‍රී 9.00 දක්වා ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ලෙසින් ඔබ හා කාලය ගතකිරීමයි. නමුත් එය දුරකථනය ඔස්සේ කතා කිරීම හෝ අන්තර්ජාලය ඔස්සේ Chat කිරීම යන සීමාවන් දෙකට පමණක් අනුගත විය යුතුය. ඔබ මිලදී ගත් මේ අපූරු කල්පිත ආදරවන්තයාගේ වැදගත්ම රාජකාරිය වන්නේ සේවාදායකයාට හොඳ අසන්නෙක් වීමයි. එසේම පාරිභෝගිකයා තම මානසික ප්‍රශ්න, රැකියාවේ ගැටලු, පවුල් ප්‍රශ්න සාකච්ඡා කිරීමට පෙළඹෙයි නම් ඒවා සාවධානව අසා සිටිමින් ඔහුගේ හෝ ඇයගේ සිත සැනසවීමද රාජකාරියේ කොටසකි.
නමුත් ඡායාරූප, පෞද්ගලික  විස්තර හෝ වීඩියෝ ඇමතුම් සඳහා ඉල්ලීම් කිරීමට පාරිභෝගිකයාට අවසරයක් නැත. නමුත් සේවා කාලය තුළදී පාරිභෝගිකයාගේ ආදරවන්තයා/ආදරවන්තිය ලෙසින් හිඳ ඔහුට/ඇයට ප්‍රතිචාර දැක්වීම සිදුකෙරෙනු ඇත. රාත්‍රී 9ට සේවා කාලය අවසන් වන අතර හෙට දිනයේ නැවතත් තම මනඃකල්පිත පෙම්වතා/පෙම්වතියගේ සේවාව අවශ්‍ය නම් මුදල් ගෙවා නැවත ඔහු හෝ ඇයව මිලදී ගැනීමට සිදුවේ.
මේ හරහා සේවාදායකයාට හෝ සේවා සපයන්නාට හානි වන අයුරින් සදාචාර විරෝධී ක්‍රියා සිදුකිරීමට නිදහසක් නොමැති අතර තාවකාලිකව පෙම්වතිය හෝ පෙම්වතාගේ අඩුව, අවශ්‍යතාව අන්තර්ජාලය ඔස්සේ සපුරාලීම පමණක් සිදුකෙරේ. මේ නිසා චීනයේ නීතියට අනුව මෙය නීතිවිරෝධී ගණයට නොවැටෙන අතර මේ වනවිට බචධඡචධ.ජධථ නමැති අන්තර්ජල වෙළෙඳපළ තුළ මේ සේවාව සපයන විකිණුම් ස්ථාන 3500කට අධික ප්‍රමාණයක් දැකගත හැකි වේ. එසේම 30,000ට අධික පිරිසක් මේ සේවාව දැනට මිලදී ගෙන ඇති බවද වාර්තා වේ.
මුදල් නමැති සාධකය නිසා මිනිස් සමාජය තුළ වාණිජකරණය නොවිය යුතු දේ පවා වාණිජකරණය කරමින් මානව සම්බන්ධතාවල වටිනාකම හීන කරන අතරතුර, සමස්ත සමාජයේ ස්වාභාවික පැවතුම් රටාව අවුල් කර දමන ආර්ථික ක්‍රියාකාරකමක් ලෙස මේ වෙනස පිරිසක් විසින් අර්ථ දක්වන අතර විවෘත මනසකින් මේ දෙස බලන බහුතරයක් චීන ජාතිකයන් විශ්වාස කරන්නේ මේ කාලීන සමාජ අවශ්‍යතාවක් පූරණය කිරීමක් ලෙසය.
ඔවුන්ගේ මතයට අනුව, ආර්ථික හා සමාජයීය ගැටලු නිසා සහකරුවකු, සහකාරියක සොයා ගැනීමට නොහැකිව තනිකඩව මානසික ආතතියෙන් ජීවත්වන සමාජයේ බොහෝමයක් මිනිසුන්ට මේ හරහා තම ආතතිය නිදහස් කරගැනීමට අවස්ථවක් ලැබේ. එනිසා සමාජ විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රම ඔස්සේ තම මානසික ආතතියන් පිටකර හැරීමට මිනිසුන් පෙළඹීම අවම වනු ඇති බව ඔවුහු විශ්වාස කරති. එසේම ලෝකයට පෙනෙන්නට සාර්ථක යැයි කියන පවුල් ජීවිත ගතකරන නමුත් ප්‍රායෝගිකව අසාර්ථක නීරස පවුල් ජීවිත ගතකරන බොහොමයක් විවාහකයන් තම පවුලට තුන්වැන්නකු සම්බන්ධ කරගන්නට යෑමෙන් පවුල් ජීවිත විනාශ කරගන්නවා වෙනුවට මෙවන් ක්‍රමයක් ඔස්සේ තමාට නොලැබි යන අවධානය සහ සැලකිල්ල බලා‍පොරොත්තු වීමේ වැරැද්ද කුමක් දැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති.
ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම අවධානය, සැලකිල්ල සහ ආදරය අවශ්‍ය බව සැබෑය. ලෝකයේ සෑම මනුෂ්‍යයකුටම මේවා සමානව නොලැබෙන බවද සැබෑය. නමුත් වාණිජමය මුහුණුවරකින් මේ හිස්තැන පිරවීමට යෑම අනුමත කිරීමට තරමක් දුෂ්කරය. 
කොටින්ම තමන් සමග ජීවත්වන මිනිසුන්ගේ හදවත්වලින් අවධානය, ආදරය සහ සැලකීමක් අස්වැසීමක් සොයා ගත නොහැකි වන මිනිසාට එය මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවී තිබිම මහා ඛිෙදවාචකයකි. සරලවම ගත් කල, හැඟීම් සහ මානව සබඳතාවලට මිලක් ගෙවිය යුතු යුගයකට අපි අවතීර්ණ වී ඇති බව කනගාටුවෙන් වුව පිළිගත යුතු සත්‍යයයි.
ආර්ථිකය කෙතරම් දියුණු වූවද දිනෙන් දින ඉහළ යන ජනගහන ගැටලුව නිසා එක පවුලකට එක දරුවකු පමණක් බිහිකිරීමේ නිදහස ඇති චීනය වැනි රටක, දෙමව්පියන්ගෙන් පසු, තමන් වෙනුවෙන් අසා සිටින්නට, සනසවන්න මිනිස් හදවතක් හොයා ගැනීම දුෂ්කරවීමද පුදුමයක් නොවේ. ඒ නිසා මේ අවශ්‍යතාවක් මිනිසා විසින්් මුදල් ගෙවා ලබා ගැනීමට යෑමද හෙළාදැකීමට නොහැක.
නමුත් හිනාවෙන්න, අඬන්න හෝ රණ්ඩුවෙන්න තමන් ළඟ සහෝදර, සහෝදරියන් නෑදෑයන් ගැවසෙන දුකක් කරදරයක් වූ විට සැණෙකින් ඔබ සොයා එන අසල්වැසියන් සිටින මනුස්සකමින් දුටු තැන උදව් කරන නිරහංකාර මිනිසුන් තවමත් ජීවත් වන ශ්‍රී ලංකාව යනු කෙතරම් උතුම් ද්වීපයක් දැයි බොහොමයක් ලාංකිකයන් තවමත් අවබෝධ කරගෙන නැත. 'පතිරූප දේස'යක ජීවත්වීමට වරම් ලැබූවත් අදටත් බොහෝ ලාංකිකයන් ගඟෙන් නා මුහුදට ආවඩන්නේ ඒ නිසාය.
පූර්ණිමා මධුෂානි
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment